මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ අධිබලැති උඳුනක් ස්ථාපිත කර ඇති බව පොලිස් මූලස්ථානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
පොලිස් මූලස්ථානය නිවේදනය කරන්නේ, පසුගිය කාල සීමාවේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීමට රජයට විශාල මුදලක් වැය කිරීමට සිදුවු බව හා මත්ද්‍රව්‍ය විනාශ කිරීමට ස්ථීර ස්ථානයක් නොමැති වීමෙන් අපහසුතා රැසක් පැන නැගුණු බවයි.
ඒ අනුව ස්ථීර විසඳුමක් ලෙස ලැක්ටෝස් වත්ත ඉඩමේ පර්චස් 20ක භූමියක් ආවරණය වන පරිදි මෙම් මත්ද්‍රව්‍ය විනාශ කරන අධිබලැති උඳුන ස්ථාපිත කර තිබෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ මඟ පෙන්වීම යටතේ පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ රුපියල් මිලියන 11කට අධික මුදලක් වැයකර මෙම උඳුන ස්ථාපිත කළ බව පොලීසිය පවසනවා.
මෙම උඳුන ස්ථානගත කිරීම සඳහා ස්ථානය සකස් කිරීමේ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් භාරගත් අතර, ඒ සඳහා රුපියල් මිලියන 6.34ක මුදලක් ශ්‍රී ලංකා පොලීසිය වැය කර ඇති බව සඳහන් වනවා.
මෙම උඳුනේ පළමු මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීම හෙට (18) හවස 5ට ටිරාන් අලස් අමාත්‍යවරයාගේ සහ පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතයි.
ඒ අනුව මෑතක දී නඩු කටයුතු අවසන් වූ පාකිස්තාන ජාතිකයින් 7 දෙනෙකු සන්තකයේ තිබී අත්අඩංගුවට පත්වූ හෙරොයින් කිලෝ 279යි ග්‍රෑම් 591ක් සහ මෙතැම්පිටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 45යි ග්‍රෑම් 654ක ප්‍රමාණයක් හෙට විනාශ කිරීමට නියමිත බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය සෙල්සියස් අංශක 800 – 1200 දක්වා උෂ්ණත්වයකින් විනාශ කිරීම සිදුකළ යුතු අතර ඒ සඳහා පැය 8ක කාලයක් ගත වනවා.
මෙම උඳුන පැයක කාලයක් ක්‍රියාත්මක කිරීම සඳහා ගෑස් කිලෝ ග්‍රෑම් 15ක් සහ ඩීසල් ලීටර් 4ක් වැය වනවා.
එම උඳුන පහතින් ඔබට බලාගත හැකියි.