දයාසිරිගේ තනතුරට අද අධිකරණයෙන් ලැබුණු තීන්දුව මෙන්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කරමින් නිකුත් කළ ලිපිය ඉල්ලා අස්කර ගන්නේද? නැද්ද? යන තීරණය දැනුම්දීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වගඋත්තරකාර මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසකට කල් ලබා දී තිබෙනවා.

තමාව තනතුරින් ඉවත් කිරීමට එරෙහිව දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත්කළ අභියාචනා පෙත්සමක් අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන සහ වැඩ බලන මහලේකම් සරත් ඒකනායක යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය සඳහන් කළේ පෙත්සම්කරුට එරෙහිව නිකුත් කළ ලිපිය ඉවත් කර ගන්නේද? නැද්ද ? යන තීරණය දැනුම් දීම සඳහා කල් ලබාදෙන ලෙසටයි.

ඒ අනුව පෙත්සම යළි ජූනි 25 වනදා කැඳවීමට අධිකරණය නියම කළා.

එසේම එදිනට මෙම තීරණය දැනුම් දෙන ලෙස අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන සහ නියෝජ්‍ය මහලේකම් සරත් ඒකනායක යන මහත්වරුන්ට නියෝග කළා.

සිය පක්ෂ සාමාජිකත්වය සහ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගනු ලැබූ තීරණයට එරෙහිව දයාසිරි ජයසේකර මහතා ඉකුත් වසරේ කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

එහෙත් කොළඹ දිසා අධිකරණය විසින් දයාසිරි ජයසේකර මහතා ඉවත් කිරීමේ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළා.

එම තීරණයට එරෙහිව දයාසිරි ජයසේකර මහතා බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකළ ද එම අධිකරණය විසින් ද අදාළ වාරණ නියෝගය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර තිබුණා.

ඉන් අනතුරුව අදාළ අධිකරණ තීන්දුවට එරෙහිව දයාසිරි ජයසේකර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!