හරක් කටා වෙනුවෙන් රජය මාසයකට රුපියල් කෝටියක මුදලක් වැය කරලා

හිටපු ඇමැති ටිරාන් අලස් සහ හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් තමන්ගෙන් රුපියල් කෝටි තිහක මුදලක් ඉල්ලා සිටි බව කොළඹ මහාධිකරණය හමුවේ විභාග වෙමින් තිබූ නඩුවකට සහභාගී වූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් බව කියන හරක් කටා හෙවත් නදුන් චින්තක මාධ්‍යවේදීන්ට පැවසුවේය

මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවට සහභාවීමට අධිකරණයේ කොරිඩෝව හරහා යමින් සිටියදී හා ඉන් පසුව අධිකරණයෙන් පිටතට පැමිණි අවස්ථාවේදී ඔහු දෑත් විලංගු දමාගෙන මේ බව පවසමින් යන්න ගියේය.

අධිකරණයේ නඩුව විභාග වූ අවස්ථාවේදීද ඔහු තමන්ගේ අත් ඔසවා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සදහා තිබෙන දුෂ්කරතා ගැනද දැනුම්දී ඇත. ඒ අනුව තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත සතියක් ඇතුළත සැකකරු පෙන්වන ලෙසද අධිකරණය නියෝග කර තිබේ.

මේ අතර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතයටතේ රදවාගෙන සිටින ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කියන හරක් කටා හෙවත් නදුන් චින්තක නැමැත්තා වෙනුවෙන් රජය මාසයකට රුපියල් කෝටියක මුදලක් වැය කරන බව අධිකරණය හමුවේ අනාවරණය වී තිබේ.

නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට එරෙහිව පවතින නඩුවක් ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුරිකා ද සිල්වා හමුවේ පසුගිය 9 වැනිදා කැඳවූ අතර සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වන සංජය ආරියදාස, පුබුදු රන්දිම සහ උදුල් ප්‍රේමරත්න කරුණු ඉදිරිපත් කරමින් දන්වා සිටියේ තම සේවාදායකයා වෙනුවෙන් රජයට මාසිකව රුපියල් කෝටියකට අධික මුදලක් දැරීමට සිදුව තිබෙන බවයි.

ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයට අයත් තංගල්ල පැරණි බන්ධනාගාරයේ මෙම සැකකරු පමණක් රදවා තිබෙන බවද, මොහුගේ ආරක්ෂාව සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් 63 දෙනක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලුන් 24ක් ලෙස 87 දෙනෙක් යොදවා තිබෙන බවද නීතීඥින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අනාවරණය කළේය.

එක් සැකකරුවෙක් පමණක් රදවා සිටින බන්ධනාගාරයට මාසිකව රුපියල් ලක්ෂයක ජල බිලක්ද, රුපියල් හැට පන්දහසක විදුලි බිලක්ද ලැබෙන බව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අධිකරණයට දැනුම් දුන්නේය.

රාජකාරියේ යෙදී සිටින නිලධාරීන් සදහා වන ආහාර පාන, වැටුප් ඇතුළුව මෙම සැකකරු වෙනුවෙන් පමණක් මසකට රුපියල් කෝටියකට අධික මුදලක් වැය කිරීමට සිදුව තිබෙන බවද නීතීඥයින් අධිකරණය හමුව් කරුණු දැක්වූවේය.

ගාල්ල සහ කොළඹ අධිකරණ හමුවේ විභාගවන නඩු සදහා මෙම සැකකරු තංගල්ලේ සිට රැගෙන එන බවත්, එහිදී ආරක්ෂාව සමග වාහන හතරක් පැමිණෙන බවත්, ගමන් ගන්නා අතර පොලිස් ස්ථාන විසින් සැකකරුට ආරක්ෂාව ලබාදෙන බවත් පැවසූ නීතීඥයින් එක් සැකකරුවෙක්ට පමණක් මෙතරම් මුදලක් වැය කිරීමට හේතුව විමසා සිටියේය.

මේ අතර සැකකරුට නරක්වූ ආහාර ලබාදෙන බවත්, අසනීපවලට ප්‍රතිකාර ලබාගැනීමට අවස්ථාව නොදෙන බවත්, නීතීඥවරුන් හමුවීමට අවස්ථාව ලබා නොදෙන බවත්, සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ උදුල් ප්‍රේමරත්න වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සදහන් කළේය.