ඉදිරි පැය 24 කාලගුණයට වෙන්න යන දේ මෙන්න

තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත්කර තිබෙනවා.

එම නිවේදනය ඉදිරි පැය 24ක් දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව පවසන අතර මධ්‍යම-නැගෙනහිර බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර සහ නාවික යාත්‍රා සඳහා මේ පිළිබඳව සැලකිලිමත් වන ලෙසද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මධ්‍යම-නැගෙනහිර සහ උතුරු අන්දමන් මුහුද ආශ්‍රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වායුගෝලයේ අඩු පීඩන තත්ත්වයක් හෙට (21) දිනයේදී වර්ධනය වීමේ හැකියාවක් පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පසුව, එම පද්ධතිය වයඹ දිශාවට ගමන් කරමින්, ඔක්තෝබර් 23 වන දින වනවිට පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇති බව සඳහන් කර තිබෙනවා.

වැඩිදුරටත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව ඉතා තද සුළං (පැ.කි.මී. 70-80), සමඟින් තද වැසි පැවතිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි.