අද සිට උසාවියේ දඩ සහ ගාස්තු ඔන්ලයින් ගෙවන්න පුළුවන් – මෙන්න ක්‍රමය


ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය හරහා ‘දූෂණය’ නමැති පිළිකාව සමාජයෙන් තුරන් කළ හැකි බව අගවිනිසුරු ජනාධිපති නීතිඥ මුර්දු ප්‍රනාන්දු මහත්මිය පවසන්නීය.

අගවිනිසුරුවරිය මේ බව සඳහන් කළේ, ශ්‍රේෂ්ඨාධිකරණය ‘GovPay’ ඩිජිටල් ගෙවීම් වේදිකාව සමඟ සම්බන්ධ කිරීම වෙනුවෙන් අද පැවැති උත්සවයකදීය. 
නීති වෘත්තිකයන්,  ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය හෙවත් ICTA ආයතනයේ සහ ලංකා පේ සමාගමේ නිලධාරින් පිරිසක්ද ඒ සඳහා සහභාගි වී සිටියහ.

ඒ අනුව මෙතෙක් මුදල් මඟින් ගෙවීම් සිදුකළ ශ්‍රේෂ්ඨාධිකරණ සේවා රැසකට මාර්ගගත ක්‍රමය ඔස්සේ මුදල් ගෙවීමට මෙමඟින් අවස්ථාව උදාවේ.

නඩු ගොනු සඳහා ගාස්තු, සහතික කළ පිටපත් ගාස්තු, වාණිජ මහාධිකරණ අභියාචනා ගොනුකිරීමේ ගාස්තු, වන්දි, පැමිණිලි ගොනුකිරීමේ ගාස්තු සහ දිවුරුම් ප්‍රකාශ සඳහා සිදුකරන ගෙවීම් ඇතුළු ගෙවීම් කටයුතු රැසක් මෙමඟින් මාර්ගගත ක්‍රමයට සිදුකිරීමට අවස්ථාව උදාවනු ඇත

.