හිටපු ජනපති දේශාපාලන කණ්ඩායම් සමඟ සාකච්ඡාවක

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් දේශපාලන සන්ධානයක් යටතේ මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග වැදීමට නියමිත බවට වාර්තා වනවා.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් අද දිනයේත් සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන ආකාරය සහ ලකුණ සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරිමට නියමිත අතර සන්ධානගත වන්නේ නම් ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු පිළිබඳව ද මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතයි.

මේ අතර අද පස්වරු 4.00ට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පසුගිය ජනාධිපතිවරණයේ දී ඔහුට සහාය පළ කළ කණ්ඩායම් සමඟද සාකච්ඡාවක් පැවැත්වීම නියමිත අතර එහිදි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන ආකාරය සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිත බවටද වාර්තා පලවනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට පැමිණි මන්ත්‍රී කණ්ඩායම විසින් පසුගියදා පිහිටුවනු ලැබු පොදුජන එක්සත් නිදහස් පෙරමුණට මෙතෙක් මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය හිමිවද නැහැ.

එමෙන්ම කුසලානය යටතේ තරග වැදීමට නම් අදාළ සන්ධානයට මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය හිමිවිය යුතුයි.

ඒ අනුව ඔවුන් පොදුජන එක්සත් පෙරමුණ යටතේ “පුටුව” ලකුණින් ඉදිරි මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් ඒ පිළිබඳව අද දිනයේ රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවේදී අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිතයි.