ක්ලබ් වසන්තගේ ඝාතකයන්ට ආධාර අනුබල දුන් හිටපු මන්ත්‍රී බන්ධනාගාරයට

ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන සිටි බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන අමල් සිල්වා සැප්තැම්බර් මස 02වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

කඩුවෙල වැඩබලන මහෙස්ත්‍රාත්වරයා විසිනුයි එම නියෝගය නිකුත් කර ඇත්තේ.

ඉකුත් 29 වනදා උදෑසන අමල් සිල්වා අත්අඩංගුවට ගත් අතර පසුව රඳවාගෙන ප්‍රශ්න කෙරුණා .

අදාළ ඝාතනය සිදුකිරීමට පැමිණි පිරිසට නවාතැන් පහසුකම් හා ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ල්බ් වසන්ත පසුගිය ජුලි මස 8 වනදා අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේ වෙඩි තබා ඝාතනය කෙරුණා.

අදාළ මරණය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි වෙඩික්කරුවෙකු හා වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පැදවූ රියදුරා පානදුර කොට්ඨාස අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගත්තේ ඉකුත් 28 වනදා රාත්‍රියේදීයි.

පොලීසිය පැවසුවේ සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරු මත අදාළ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.