ශ්‍රීලංකන් ගුවන් සේවයේ Frequent Flyer වැඩසටහන වන FlySmiLes වැඩසටහනේ නව වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කිරීම පසුගියදා සිදුකෙරිණි. මේ වනවිට ලොව පුරා FlySmiLes සාමාජික සාමාජිකාවන් 800,000 කට ආසන්න පිරිසක් සිටින අතර, ඔවුන්ට වඩාත් පහසුවෙන් වෙබ් අඩවිය භාවිතා කිරීමට සහ FlySmiLes ප්රතිලාභ හිමිකරගැනීමට හැකි වන ආකාරයට මෙය සැලසුම් කර ඇත. මෙමගින් FlySmiLesසාමාජික සාමාජිකාවන්ට ගුවන් ගමන්වවලදී සහ අනෙකුත් හවුල්කරුවන්ගෙන්ද සුවිශේෂී අත්දැකීම් පෙළක් හිමි වනු නිසැක ය.
“නව FlySmiLes වෙබ් අඩවිය, පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට අත්දැකීමක් තිළිණ කිරීම සඳහා අප දක්වන උනන්දුවට හා කැපවීමට මනා සාක්ෂියක්. එමෙන්ම එය අපගේ පාරිභෝගිකයන්ට සුවිශේෂී අත්දැකීමක් ලබාදීම සඳහා අප අනුගමනය කරන ක්‍රමවේදයේ කැපීපෙනෙන ඉදිරි පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්. නව විශේෂාංග රැසක් සහිතව, වඩාත් පහසුවෙන් භාවිත කළ හැකි පරිදි සැලසුම් කර ඇති මෙම වෙබ් අඩවිය ඔස්සේ පාරිභෝගිකයන්ට තමන් කැමති වේලාවක කැමති ස්ථානයක සිට FlySmiLes වරප්‍රසාද හා විශේෂ දීමනා හිමිකර ගැනීමට හැකියාව ලැබේවි.”ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගෝලීය විකුණුම් හා බෙදාහැරීම් ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා පැවසී ය.
“සම්පූර්ණයෙන්ම අප විසින්ම ක්‍රියාවට නංවන ලද මෙම ව්‍යාපෘතිය, ශ්‍රීලංකන් කාර්ය මණ්ඩලයේ දක්ෂතාවන්ට සහ නවෝත්පාදන හැකියාවන්ට මනා සාක්ෂියක්. මේ සාමූහික ප්රයත්නය නිසා, නිරන්තරයෙන් අපගේ ගුවන් සේවය භාවිතා කරන පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවන්ට වඩාත් හොඳින් ගැළපෙන ආකාරයට මෙහි සෑම අංගයක්ම සැලසුම් කිරීමට අපට හැකි වුණා. නවීනතම තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කර ඇති මෙම වෙබ් අඩවිය, ප්‍රායෝගිකත්වය සහ ආකර්ෂණය සමබර ලෙස රඳවාගත් නිර්මාණයක්. මෙය ඩිජිටල් අවකාශය තුළ FlySmiLesවැඩසටහන මැනවින් නිරූපණය කරන්නක් මෙන්ම සෑම FlySmiLes සාමාජිකයෙකුගේම අවශ්‍යතා සපුරාලන්නක් බවට පත්වේවි.”ශ්‍රීලංකන් ගුවන් සේවයේ සමූහ තොරතුරු තාක්ෂණ ප්‍රධානී චාමර පෙරේරා මහතා පැවසී ය.
FlySmiLes සාමාජික සාමාජිකාවන්ට දැන් නව්‍යතාවට ගැළපෙන පරිදි සකස් කළ තොරතුරු පුවරුවක් භාවිතයෙන් ඉතාමත් පහසුවෙන් තම FlySmiLes miles ප්‍රමාණය සහ තම සාමාජිකත්වයේ ප්‍රගතිය ආදිය පහසුවෙන් පරීක්ෂා කළ හැකි වේ. එමෙන්ම මෙම මාර්ගගත ක්‍රමය ඔස්සේ miles මගින් කරන ගනුදෙනු දැන් පෙරට වඩා අතිශයින් පහසු ය. තවද සාමාජිකයන්ට දැන් තම Google හෝ Facebook සමාජ මාධ්‍ය ගිණුම් හරහා FlySmiLes වෙත ප්‍රවේශ වීමේ හැකියාව ලබා දී ඇත. ගෙවීම් කිරීමේදී American Express, Visa සහMasterCard ඇතුළු ගෙවීම් ක්‍රම රැසක් භාවිතා කළ හැකි අතර, ගනුදෙනුවලදී සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා එක්වරක් පමණක් භාවිතා කළ හැකි මුරපදයක් (OTP – One-Time Password) හඳුන්වා දී ඇත.
සම-සන්නාමගත කාඩ්පත් හිමියන් සඳහා සුඛෝපභෝගී විවේකාගාර (Lounge) භාවිතා කිරීමේ අවස්ථාව සලසා දෙන වවුචර්, අමතර ගමන් මලු වවුචර් සහ ගුවන් සේවා නොවන හවුල්කරුවන්ගේ වවුචර් වැනි සේවාවන් රැසක්ද මෙම වෙබ් අඩවිය හරහා ඉතා පහසුවෙන් ලබාගත හැක.
FlySmiLes වැඩසටහන යටතේ Platinum, Gold, Classic සහ Blue යන සාමාජික ස්ථර හඳුන්වා දී ඇති අතර, Silverසාමාජිකත්වය ලබාගත හැක්කේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ සම-සන්නාමගත ක්‍රෙඩිට් කාඩ්පත් හිමි පුද්ගලයන්ට පමණි. oneworld® ගුවන් සේවා සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රීලංකන් ගුවන් සේවය හඳුන්වා දී ඇති FlySmiLes වැඩසටහන, නිරන්තරයෙන් සංචාරයේ යෙදෙන පුද්ගලයන්ට ලොව ප්රමුඛ පෙළේ ගුවන් සේවා එකතුවක් හරහා වඩාත් විශිෂ්ට අත්දැකීම් පෙළක් හිමිකර දීම සඳහා ක්‍රියාවට නංවන ලද සුවිශේෂී වැඩසටහනකි. එහි සාමාජිකයන්ට ලොව ගමනාන්තයන් 900 කට අධික සංඛ්‍යාවක සුඛෝපභෝගී විවේකාගාර 700 කට අධික සංඛ්‍යාවක් භාවිතා කිරීමට අවස්ථාව හිමි වේ. එමෙන්ම ඔවුන්ට oneworld® සන්ධානයේ සාමාජික ගුවන් සේවාවන්, ඒ හා සම්බන්ධ වෙනත් ගුවන් සේවාවන් හෝ වෙනත් හවුල්කාර ගුවන් සේවාවන් භාවිතා කිරීමේදී FlySmiLes miles හිමිකර ගැනීමට සහ භාවිතා කිරීමටද අවස්ථාව සලසා දී ඇත.
FlySmiLes වැඩසටහන පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා නව වෙබ් අඩවියට පිවිසෙන්න: www.flysmiles.com