එංගලන්ත ඉනිම 427කින් අවසන් වෙයි – ගට් ඇට්කිංසන්ගෙනුත් ශතකයක්

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම සඳහා එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 427ක් රැස් කිරීමට සමත් වුණා.

එංගලන්ත ඉනිමේ අවසාන කඩුල්ල ලෙස ඔලී ස්ටෝන් ලකුණු 15කට දැවී ගියා.

ඔහුගේ කඩුල්ල හිමිකර ගත්තේ වේග පන්දු යවන අසිත ප්‍රනාන්දු විසිනි.

ඒ අනුව මෙම ඉනිමේදී ලකුණු 102කට කඩුලු 5ක් දවා ගැනීමට අසිත ප්‍රනාන්දුට හැකිවුණා.

මේ අතර වේග පන්දුයවන්නෙක් ලෙස එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ගට් ඇට්කිංසන්, සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට අද (30) සමත්වුණා.

මෙය ලෝඩ්ස් පිටියේදී වාර්තාකළ 6වැනි වේගවත්ම ටෙස්ට් ශතකය ලෙස වාර්තා පොත් අතරට එක්ව තිබෙනවා.

එංගලන්ත ඉනිමේ අංක 8 පිතිකරුව ලෙස පිටියට පිවිසි ගට් ඇට්කිංසන් සිය ශතකය සඳහා 4 පහර 11ක් සහ 6 පහර 4ක් එල්ලකර තිබුණා.