සහල් ආනයනය කිරීමට අවස්ථාව ලබාදීමත් සමගින් ලංකාවට ආනයනය කරනු ලබන සහල්වල මිල ඉහළ දැමීමට ඉන්දීය සහල් සැපයුම්කරුවන් කටයුතු කර ඇතැයි සහල් ආනයනය කරනු ලබන ව්‍යපාරිකයෝ පවසති.
මීට පෙර ඉන්දියාවෙන් සහල් ආනයනය නොකළ ඇතැම් ව්‍යාපාරිකයින්ද සහල් ආනයනය කිරීම සදහා රජය අවසර ලබාදීමත් සමගින් ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීමට උත්සාහ ගත් බව සහල් ආනයනය කරනු ලබන ව්‍යාපාරිකයෙක් ශ්‍රී ලංකා නිව්ස් වෙත පැවසුවේය. ඉන්දීය සහල් වෙළදපොලට එක්වරම විශාල ඉල්ලුමක් ලැබීමත් සමගින් සහල් මිල ඉහළ දැමීමට එම ඉන්දීය සහල් අපනයනකරුවන් කටයුතු කර ඇතැයිද එම ව්‍යාපාරිකයා පැවසුවේය.
මීට අමතරව තත්වයෙන් බාල සහල් හා කල් ඉකුත්වීමට ආසන්න සහල් තොග ලංකාවට ලබාදීමට ඉන්දීය ව්‍යාපාරිකයින් උත්සාහ ගන්නා බවද ඔහු පැවසුවේය. පසුගිය දිනකදී ගුල්ලෝ ගසන ලද සහල් හා කල් ඉකුත්වීමට ආසන්න සහල් ලෙස සහල් කන්ටේනර තුනක් පැමිණ තිබුණේ මේ නිසා බවද ඔහු සදහන් කළේය.
මේ තත්වය හමුවේ තමන් වැනි ව්‍යාපාරිකයින් සහල් ආනයනය කිරීමට කටයුතු නොකළ බවද ඔහු කීවේය.
කෙසේ නමුත් ආනයනය කරනු ලබන සහල් රජය විසින් ලබාදී ඇති උපරිම මිලට අලෙවි කිරීමට නොහැකි තත්වයක් ඇතිවන බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.