2030 වන විට ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ නවෝත්පාදන මධ්‍යස්ථානය බවට පත් කිරීමේ මෙහෙවරට උර දෙන, ජාතික තලයේ වැඩසටහනක් වූ Disrupt Asia 2025ඉදිරියේදී පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සංවිධාන වෙමින් පවතී. ආයෝජකයන් වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීමටත්, නව ව්‍යවසායකයන්ට මෙන්ම ඔවුන් සඳහා පහසුකම් සලසන පාර්ශවවලටත් අවස්ථාව ලබා දෙමින්, ආයෝජන සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම Disrupt Asia වැඩසටහනේ මූලික අරමුණයි.
ඩිජිටල් කර්මාන්ත සඳහා ඇ.ඩො. බිලියන 5ක් සහ ඩිජිටල් ආර්ථිකය සඳහා ඇ.ඩො. බිලියන 15ක් වශයෙන් නිශ්චිත ඉලක්කයන් සපුරා ගනිමින් කලාපයේ නවෝත්පාදන ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන බලවතෙකු වීම ශ්‍රී ලංකාවේ ඉලක්කය වී ඇත. මෙම දැක්ම තුළ ඇති ප්‍රධාන කරුණු අතරට, ඇ.ඩො. මිලියන 50ක අරමුදලක් ආරම්භ කිරීම, Virtual Special Economic Zone (SEZ) නමින් විශේෂ ආර්ථික කලාපයක් ස්ථාපිත කිරීම සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයට අයත් මැදපෙරදිග රටවල්, අග්නිදිග හා දකුණු ආසියානු රටවල් සම්බන්ධ කරන දොරටුවක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම යන කරුණු ඇතුළත් වේ.
2025 සැප්තැම්බර් 17 සිට 20 දක්වා පැවැත්වෙන මේ දැවැන්ත වැඩසටහන, කොළඹ නගරය දකුණු ආසියාවේ නවෝත්පාදනය පිළිබඳ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන්නට තබන තවත් යෝධ පියවරක් වනු නොඅනුමානය. එමෙන්ම, මේ තුළ නිර්මාණශීලීත්වය, සහයෝගීතාව සහ ව්‍යාපාර ප්‍රාග්ධනය පිළිබඳ ක්‍රියාකාරකම් රාශියක් ද ඇතුළත් වේ. ශ්‍රී ලංකාවේ ඩිජිටල් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දියුණුවක් ඇති කරන්නට පුරෝගාමී වෙමින්, කලාපයේ තාක්ෂණික නවෝත්පාදනය හා සම්බන්ධ ප්‍රධාන ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කරන මේ සුවිශේෂී වැඩසටහන සඳහා නව ව්‍යවසායකයින්, ආයෝජකයින්, ක්ෂේත්‍රයේ ප්‍රධානීන්, සමාගම්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ පහසුකම් සලසන්නන් ඇතුළු විවිධ පාර්ශව රැසක් ද සම්බන්ධ වීමට නියමිතය.
ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වෙන Disrupt Asia 2025 සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශය, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය, MasterCard, Venture Engine, nVentures, Trace Expert City, Asaya Sands, UNDP, BOV Capital, Indian Angel Network, Lankan Angel Network, Hatch, Spike, Cinnamon Life, SriLankan Airlines සහ Dialog හවුල්කාර පාර්ශව ලෙස සම්බන්ධ වීමට නියමිතය.
මේ පිළිබඳ මාධ්‍යයට අදහස් දක්වමින්, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ගරු (ඉංජිනේරු) එරංග වීරරත්න මහතා මෙසේ සඳහන් කළේය. “ශ්‍රී ලංකාවේ ප්‍රධානතම නව ව්‍යවසායක සමුළුව සහ නවෝත්පාදන වැඩසටහන වන Disrupt Asia 2025 කියන්නේ තාක්ෂණය, නිර්මාණශීලීත්වය සහ ව්‍යවසායකත්වය තුළින් බල ගැන්වෙන අනාගතයක් වෙනුවෙන් ජාතියක් වශයෙන් අපේ කැපවීම පෙන්වන සාක්ෂියක්. ශ්‍රී ලංකාව, කලාපය තුළ ඩිජිටල් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා අප ගෙනයන වැඩපිළිවෙළ සාර්ථක කරගන්නට නම්, මෙවැනි වැඩසටහන් අත්‍යවශ්‍යයි. නව ව්‍යවසායකයන්ට සුදුසු පරිසරයක් කඩිනමින් නිර්මාණය කිරීම, ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කිරීම සහ ඊළඟ පරම්පරාවේ නවෝත්පාදකයන්ගේ හැකියාවන් එළි දක්වන්නට සුදුසු වේදිකාවක් නිර්මාණය කිරීම වැනි කරුණු රැසක් මේ තුළින් සපුරා ගැනීමට අපට හැකි වෙනවා.”
Mastercard ශ්‍රී ලංකා සහ මාලදිවයින් ප්‍රධානී, සඳුන් හපුගොඩ මහතා අදහස් දක්වමින්, “සමාජය තුළ යහපත් වෙනසක් ඇති කිරීම සඳහා තාක්ෂණය යොදා ගැනීමේ ක්‍රියාවලිය තුළ නවෝත්පාදනය, සහයෝගීතාව හා ආයෝජන ශක්තිමත් කිරීම උදෙසා කැපවීමෙන් යුතුව කටයුතු කරන වැඩසටහනක් වූ Disrupt Asia 2025 හි හවුල්කාර පාර්ශවයක් ලෙස අත්වැල් බැඳගන්නට ලැබීම ගැන Mastercard අප ඉතාමත් සතුටට පත් වෙනවා. අඛණ්ඩව සිදු වන ඩිජිටල් තාක්ෂණයේ දියුණුව නිසා වාණිජ කටයුතු, සයිබර් ආරක්ෂණය හා මූල්‍ය වැනි ක්ෂේත්‍ර ගැන අලුතින් සිතාබැලීමට අපට සිදු වී තිබෙනවා. මේ නිසා, ශ්‍රී ලංකාව ශක්තිමත් ඩිජිටල් අනාගතයක් කරා ගෙන යන ගමනට Mastercard අපිත් නිරන්තර කැප වීමෙන් කටයුතු කරනවා. දූරදර්ශී ව්‍යවසායකයන්, කර්මාන්ත ක්ෂේත්‍රයේ පුරෝගාමීන් සහ සමාජයේ වෙනසක් ඇති කරන්නට මැදිහත් වන පිරිස් සමඟ සහයෝගයෙන් කටයුතු කරමින්, රටේ ඩිජිටල් සංවර්ධනය වේගවත් කිරීමටත්, ඒ සඳහා විශේෂයෙන් කැපවූ කලාපයේ ක්‍රියාකාරී නවෝත්පාදකයෙකු ලෙස අපේ කාර්යය හැකි උපරිමයෙන් ඉටු කරන්නටත් අපි බලාපොරොත්තු වෙනවා.”
සිව්දින වැඩසටහනක් වූ මෙහි සමාරම්භය සැප්තැම්බර් 17 දිනට යෙදී ඇති අතර එදින, ශ්‍රී ලංකාවේ නව ව්‍යවසායකයන්ට ආයෝජකයන් සම්බන්ධ කරන ප්‍රධානතම වේදිකාවක් වන Venture Engine (VE) මඟින් දියත් කෙරෙන ක්‍රියාකාරකම් රැසකින් සමන්විත වේ. මේ යටතේ කැපී පෙනෙන නවෝත්පාදකයන්ට මඟ පෙන්වීම, උපායමාර්ගිකව වැදගත් අවස්ථා හඳුන්වා දීම සහ නව ව්‍යවසායකයන්ට ප්‍රමුඛ පෙළේ ආයෝජකයන් සමඟ සම්බන්ධ වීමට අවස්ථා සලසා දීම වැනි කටයුතු සිදු කෙරෙනු ඇත. Venture Engine (VE) යනු BOV Capital සහ Indian Angel Network මඟින් බලගැන්වූ සංවිධානයක් වන අතර එය Lankan Angel Network (LAN)හි සාඩම්බර හවුල්කරුවකු ද වේ. රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයේ කැපී පෙනෙන කඩඉමක් සේ සැලකෙන Disrupt Asia මේ වසරේ වැඩසටහන සමඟ Venture Engine (VE) සහයෝගයෙන් අත්වැල් බැඳගත් බව සතුටින් යුතුව නිවේදනය කරයි. Disrupt Asia දියත් කිරීමට සමගාමීව නව ව්‍යවසායකයන් ලියාපදිංචි කිරීමේ කටයුතු 2025 ජුනි 18 වන දින නිල වශයෙන් විවෘත කිරීමට කටයුතු යොදා ඇත. සුදුසුකම් ඇති නව ව්‍යවසායකයන්ට www.ventureengine.lk නිල වෙබ් අඩවිය හරහා අයදුම් කිරීමට ආරාධනා කෙරේ.
BOV Capital සම-නිර්මාතෘ/කළමනාකාර හවුල්කරු සහ LAN නිර්මාතෘ ප්‍රජීත් බාලසුබ්‍රමනියම් මහතා අදහස් දක්වමින්, “Venture Engine මඟින් ශ්‍රී ලංකාවට මෙන්ම ලෝකයට යහපත් බලපෑමක් ඇති කළ හැකි සාර්ථක අදහස් විසඳුම් බවට පරිවර්තනය කරන්නට නව ව්‍යවසායකයන්ට අවස්ථාව ලබා දෙනවා. ශ්‍රී ලංකාව ලෝකය තුළ කැපී පෙනෙන රටක් බවට ඔසවා තබන්නට උනන්දුවක් දක්වන පිරිස් සමඟ සම්බන්ධ වීමට ලැබීම ගැන අප සතුටට පත් වන අතරම, ඔවුන්ගේ හැකියාවන් ඔප් නංවන්නට අප හා එක් වන්නට ඔවුන්ට ආරාධනා කරනවා.” යනුවෙන් පැවසීය.
සැප්තැම්බර් 18 වන දින පැවැත්වෙන ප්‍රධාන සමුළුව සහ ආරම්භක ප්‍රදර්ශනය, Disrupt Asia 2025 වැඩසටහනේ ප්‍රධානතම අංගය වන අතර, එදින ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, ප්‍රතිපත්ති සම්පාදනය හා සම්බන්ධ බලධාරීන් සහ නවෝත්පාදනය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රවීණයන් රැසකගේ අදහස් දැක්වීම්වලින් වැඩසටහන සමන්විත වේ. සහභාගී වන නව ව්‍යවසායකයන්ට තමන්ගේ ක්ෂේත්‍රයට සුදුසු ආයෝජකයන් තනි තනිව හමු වී අදහස් හුවමාරු කරගැනීමටත්, සුවිශේෂී නව්‍ය ව්‍යවසායකයන් 30කට අධික ප්‍රමාණයක් සහභාගී වන ප්‍රදර්ශනය නැරඹීමටත් අවස්ථාව හිමි වනු ඇත.
මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ වෙළඳපොළට ව්‍යාපාර අරමුදල්, ආයෝජකයින් සහ පහසුකම් සලසන පාර්ශව වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමයි. එමෙන්ම, එවැනි පහසුකම් සලසන සංවිධානයක් දේශීය වශයෙන් පිහිටුවීමට උත්සහ කිරීම ද මෙහි තවත් අරමුණකි. සමස්තයක් ලෙස වැඩසටහනේ ප්‍රධාන ඉලක්ක වන්නේ, විදෙස් ආයෝජන සහ උපායමාර්ගික හවුල්කාරීත්වයන් වර්ධනය කිරීමත්, කලාපීය ව්‍යාපාර ප්‍රාග්ධන ක්‍රියාකාරකම් සඳහා කැපී පෙනන රටක් ලෙස ශ්‍රී ලංකාව ඔසවා තැබීමත් යන කරුණු වේ.
සැප්තැම්බර් 19 වන දින පැවැත්වෙන නවෝත්පාදන උළෙල, තාක්ෂණය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ ඊළඟ පරම්පරාවට ආස්වාදයක් ලබා දෙන විවෘත මහජන ඉසව්වක් ලෙස සංවිධානය කර ඇත. විවිධ තාක්ෂණික ඉදිරිපත් කිරීම්, සජීවී නිෂ්පාදන 50කින් සමන්විත ප්‍රදර්ශනයක් සහ කුතුහලය පිරුණු තාක්ෂණික විචිත්‍රාංග රැසක් ද එදිනට දැක බලා ගැනීමේ අවස්ථාව උදා වනු ඇත. FinTech, HealthTech, AgriTech, AI, Tourism, GovTech ඇතුළු අනෙකුත් නැගී එන ක්ෂේත්‍ර ආවරණය වන විවිධ අංග ද නරඹන්නන් සඳහා විවෘත වනු ඇත.
“නව නිපැයුම් සහ ව්‍යවසායකත්වය අගය කිරීම සඳහා තරුණයින්, ශාස්ත්‍රීය ප්‍රජාව, කර්මාන්ත සහ රජය ඒකාබද්ධ කරමින් 2025 Disrupt Asia නවෝත්පාදන වැඩසටහන පැවැත්වීමට TRACE Expert City සියලු කටයුතු මේ වන විට සූදානම් කෙරෙමින් පවතිනවා. මෙම වැඩසටහන ශ්‍රී ලාංකික තාක්ෂණික නව ව්‍යවසායකයන් ඉස්මතු කිරීම සඳහා ඉතා හොඳ තෝතැන්නක්. විදෙස් විශේෂඥයන් සමඟ ඔවුන් සම්බන්ධ කරමින්, ඩිජිටල් කේන්ද්‍රීය අනාගතයක් වෙනුවෙන් ඔවුන්ගේ අදහස් දිරි ගන්වන්නට මෙය මනා පිටිවහලක් වනු නොඅනුමානයි. මෙහි ප්‍රධාන ඉසව්වේ පරිසර හවුල්කරු සහ සත්කාරක ලෙස සම්බන්ධ වීමට ලැබීම ගැන TRACE අපි ඉතාමත් ආඩම්බර වෙනවා.” TRACE Sri Lanka විධායක අධ්‍යක්ෂ හේමින්ද ජයවීර මහතා පැවසීය.
Disrupt Asia හි ජාත්‍යන්තර සහභාගීත්වයේ කොටසක් ලෙස, විශේෂ සන්ධ්‍යා උත්සවයක් ද සංවිධාන කර ඇති අතර, මෙය ජාත්‍යන්තර කීර්තියක් දිනූ ලාංකික සන්නාම සහ සුවිශේෂී සංස්කෘතිකාංග ප්‍රදර්ශනයක් ලෙස සංවිධාන කර ඇත. රසවත් ලාංකික ආහාරවල අත්දැකීම ද විඳ ගැනීමේ අවස්ථාව සහභාගී වන පිරිසට හිමි වනු ඇති අතර, Asaya Sands විසින් ඉදිරිපත් කරන දකුණු පළාතේ විශේෂ සූපශාස්ත්‍ර රස එකතුවක් ද එළි දැක්වීමට නියමිතය. දිවයිනේ විචිත්‍රවත් උරුමය පිළිබිඹු කරන මැණික් ප්‍රදර්ශනයක් සහ සංස්කෘතික අංග රැසක් ද මෙම සන්ධ්‍යාව වර්ණවත් කරන්නට සූදානම් කොට ඇත. හුදෙක් හමුවකට වඩා, මෙවැනි සන්ධ්‍යා උත්සවයක් පැවැත් වීමේ අරමුණ වන්නේ විදෙස් ප්‍රේක්ෂකයින් සමඟ ශ්‍රී ලංකාවේ නවෝත්පාදන සහ නිර්මාණාත්මක විශිෂ්ටත්වය සම්බන්ධ කළ හැකි කේන්ද්‍රස්ථානයක් නිර්මාණය කිරීමයි.
Disrupt Asia 2025 යනු සැබැවින්ම ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ නවෝත්පාදන බලාගාරය බවට පරිවර්තනය කිරීම සඳහා දිරිගන්වන සාධකය වන නොරහසකි. දින හතරක් පුරා පැවැත්වෙන මෙම අපූර්ව අත්දැකීම තුළින් කලාපීය නව ව්‍යවසායක පරිසරය අර්ථවත් කිරීම මෙන්ම දකුණු ආසියාවේ තාක්ෂණ සහ ව්‍යවසායකත්ව අනාගතය පුරෝකතන කරනු ඇති බව නම් නොඅනුමානය.