යුරෝපියානු GT4 දෙවන තැන දිනු ඩිලන්ත ශ්‍රී ලංකාවට

ඉතාලියේ පැවති GT4 මෝටර් රථ ධාවන තරගය ජය ගැනීමෙන් පසුව ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතා අද (22) අලුයම වනවිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

එහිදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ඩිලන්ත මාලගමුව මහතා පැවසුවේ ,මෙම තරගාවලිය සදහා සහභාගී වූ එකම ශ්‍රී ලාංකිකයා මෙන්ම එකම ආසියාතිකයා ද වූයේ ඔහු බවයි.

මෙම තරගාවලිය යුරෝපයේ පවත්වන ලොකුම මෝටර් රථ ධාවන තරගය වන අතර එම තරගාවලිය සඳහා ලෝකයේ රටවල් 30 ක මෝටර් රථ ධාවන ශූරයින් එක් වී සිටි බව වාර්තා වනවා.

ඔවුන්ගෙන් වැඩි පිරිසක් නියෝජනය කරනු ලැබුවේ යුරෝපා සහ ඇමෙරිකානු මහාද්වීපයි .

GT4 මෝටර් රථ ධාවන තරගය සඳහා මෝටර් රථ 50ක් එක්ව සිටි අතර එම එක් රථයක් සඳහා රියැදුරුවරුන් දෙදෙනා බැගින් එක් වී සිටියා.

එමෙන්ම එම තරගාවලියට ලෝකයේ වඩාත් බලවත් , දියුණු මෝටර් රථ වර්ග 10 ක මෝටර් රථ ධාවනයට එක්කර තිබු අතර ඩිලන්ත මාලගමුව මහතා ඒ.එම්.ජී.- ජී.ටී. 4 වර්ගයේ මෝටර් රථයක් භාවිතා කළ බවද ඔහු සඳහන් කළා.

2024 වසර අවසානයේ මෙම ලෝක ශූරතා තරගාවලියේ ජයග්‍රාහකයන් තෝරා ගැනීමට නියමිත අතර මේ සඳහා තවත් මෝටර් රථ ධාවන තරග 12 ක් ඉතිරි වී ඇති බවද ඒ මහතා පැවසුවා.

එසේම ඉදිරි මාසයේ තවත් මෝටර් රථ තරග 04 ක් පැවැත්වීමට නියමිතව ඇති බවත් ,මෙම ශූරතා තරගාවලිය ජයග්‍රහණය කර ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ඒම තම එකම අපේක්ෂාව බවත් ඩිලන්ත මාලගමුව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.