ඩයනා ගමගේ අධිකරණයට

තමාව සමගි ජන බලවේගයෙන් නෙරපීමට ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම මේ මස 28 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නියම කළා.

ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම අද (10) කැඳවනු ලැබුවා.

අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම සම්බන්ධයෙන් ගනු ලබන තීරණය දැනුම්දීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියා.

එම පෙත්සම මේ මස 28 වනදා කැඳවන ලෙස නියෝග කළ විනිසුරු මඩුල්ල එදින මෙම පෙත්සම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තීරණය දැනුම් දෙන ලෙසත් නියම කළා.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.