ශ්‍රීලනිපයේ මහලේකම් ධූරය දයාසිරිට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස අද (05) උදෑසන යළිත් ධුරයේ කටයුතු ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.

පක්ෂයේ නීත්‍යානුකූල මහ ලේකම්වරයා ලෙස තවමත් කටයුතු කරන්නේ තමන් බවයි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පවසන්නේ.

ඒ අනුව යළි ධුරයේ කටයුතු ආරම්භ කරන අවස්ථාවට සියලුදෙනාට එක්වන ලෙසට ආරාධනා කරන බව මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

එමෙන්ම, එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති රෝහණ ලක්ෂමන් පියදාස මහතා පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස දයාසිරි ජයසේකර මහතා පිළිගන්නා බවයි.

එසේම ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් ඒ මහතා සඳහන් කළා.

කෙසේවෙතත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම ඵල රහිත ක්‍රියාවක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහාය දක්වන අපේක්ෂකයා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!