ටියුෂන් ගැන රජය සද්ද නෑ – මෙන්න නියෝජ්‍ය ඇමතිගේ උත්තරේ

ටියුෂන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම හෝ නියාමනය මේ මොහොතේ රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල නැතැයි අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පුවත්පතකට පැවසීය.

එහෙත් ප්‍රාථමික, ද්විතීයික, රාජ්‍ය හා රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල හා අධ්‍යාපන ආයතන නියාමන ක්‍රියාවලියක රජය සිටින්නේ යැයි ඔහු සඳහන් කළේ ය.

නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්පූර්ණ වනවිට ටියුෂන් අවශ්‍යතාව අවම වන හෝ නැති වන තැනකට එනු ඇති බව රජයේ විශ්වාසය කරන බව ය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුවන්නේ මුදල් හෝ ආර්ථික තත්ත්වය පදනම් නොවී සියලු දෙනාට නිදහස් අධ්‍යාපනයට ඇති ප්‍රවේශය මත පදනම්ව බව ඔහු අවධාරණය කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, රජයේ පාසල් ගුරුවරුන්ට තම පාසලේ සිසුන්ගෙන් මුදල් අය කරගෙන උපකාර පැවැත්වීම තහනම් කිරීමක් ගැන ජාතික ජනබලවේගය කිසිදු අවස්ථාවක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාකච්ඡාවලදී කතා කර නොමැති බව ය.

පළාත් සභා දෙකකින් එවැනි තීරණ ගෙන තිබුණේ රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිවෙතට බාහිරව බව ඔහු පැවසීය.