විදුලි බල මණ්ඩලයේ ප්‍රසාද දීමනා නොදීම හේතුවෙන් ලොකු පිපිරීමක්

විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනා මෙවර නොදීමට ගෙන ඇති තීරණය හේතුවෙන් මණ්ඩලයේ මතුවූ අර්බුදකාරී තත්වය ලොකු පිපිරීමක් දක්වා වර්ධනය වෙමින් තිබෙන බව වාර්තාවේ.

මේ හේතුවෙන් සේවකයන් සහ පාලනාධිකාරිය අතර දැඩි මතභේදාත්මක තත්වයක්ද නිර්මාණයවී තිබෙන බව එම මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විදුලි බල මණ්ඩලයේ පොදු ජන ප්‍රගතිශීලී සේවක සංගමය පවසන්නේ විසි දෙදාහක් වන විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනාව ලබාදීමට යන්නේ සමස්ත විදුලි බල මණ්ඩලයේ ආදායමෙන් සියයට එකකටත් වඩා අඩු ප්‍රමාණයක් බවයි. ලක්ෂ 40 කින් පමණ මෙම දීමනාව ලබාදීමට හැකියාව ඇති බවද සංගමය පෙන්වා දෙයි.

ප්‍රසාද දීමනා ලබාදීමට නොහැකි යැයි කියන කාරණයට එකඟ නොවන බවත් ප්‍රසාද දීමනාව දීමට මුදල් ඉතිරි වී පවතින බවත් සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය.

එසේම පසුගිය රජය සකස් කළ සැලසුම් වලට අනුකූලව විදුලි බිල අඩු කිරීමටද හැකියාව ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර ප්‍රසාද දීමනා ලබා නොදීමට ගෙන ඇති තීරණයට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට වෘත්තීය සංගම් කිහිපයක් තීරණය කර ඇත