මෛත්‍රිපාල සිරිසේනට එරෙහි වාරණය යළි දිග්ගැස්සෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පක්ෂ නියෝජිතයින්ට නිකුත් කර තිබූ වාරණ නියෝග නවයක් ඔක්තෝබර් 09 වනදා දක්වා යළි දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද (30) නියෝග කළා.

අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර , ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වලින් ඉවත් කිරීම හා එම තනතුරුවල වෙනත් පුද්ගලයින් කටයුතු කිරීම වළකාලමින් අදාළ වාරණ නියෝග නිකුත් කර තිබුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර,ජාතික සංවිධායක දුමින්ද දිසානායක හා භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන මහත්වරුන් පැවරුන් නඩු තුනක් සලකා බැලීමෙන් අනතුරුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙම වාරණ නිකුත් කෙරුණා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, සාරථි දුෂ්මන්ත,ෆයිසර් මුස්තාපා හා සරත් ඒකනායක යන මහත්වරුන්ට මෙම වාරණ නිකුත් කර තිබුණා.

ඒ අනුව විත්තියේ විරෝධතා නැවත ඔක්තෝබර් 09 වනදා ඉදිරිපත් කරන ලෙසට විනිසුරුවරයා දන්වා සිටියා.