ඕමානයේ ගෘහ සේවය සඳහා රැගෙන ගොස් එරටදි විවිධ හිරිහැරවලට ලක්ව මියගිය හම්බන්තොට සුචි ගම්මානීය පදිංචි විසි දෙහැවිරිදි තරුණිය හා ඇගේ වැඩිමහල් සොයුරිය රවටා කූට අන්දමින් රවටා මිනිස් වෙළඳාමේ නිරත වූ හම්බන්තොට සමෘද්ධි සංවර්ධන නිලධාරියා ඇතුලු සැකකරුවන් තිදෙනකු, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ තරුණියන් දෙදෙනා ඩුබායි හි සාත්තු සේවිකා රැකියා ලබාදෙන බව පවසා ඕමානයේ ගෘහ සේවිකා රැකියා සදහා යොමු කිරිමට මෙම සැකකරුවන් කටයුතු කර තිබේ.
සංචාරක වීසා මත පැමිණීම නිසා රැකියා නොමැතිව ඕමානයේ විවිධ ස්ථානවල මෙම තරුණියන් දෙදෙනා රැකියා සඳහා යොදවා ඇති බවට මුලික විමර්ශන වලදි හෙලි වි තිබේ.
විවිධ හිරිහැර වලට ලක්ව පසුව 22 හැවිරිදි තුවාන් රාජික් රමිෂා තරුණිය එහිදි මියගිය බවට ඇගේ වැඩිමල් තරුණිය විසින් සිය මවට දන්වා ඇත.
මෙම මරණය සියදිවි හානිකර ගැනීමක් ද එසේ නොමැති නම් ඝාතනයක් ද යන්න තවමත් නිශ්චිත වශයෙන් තහවුරු කරගෙන නොමැති අතර කෙසේ වෙතත් මේ පිළිබඳව ඕමානයේ තානාපති කාර්යාලය හා විදේශ කටයුතු අමාත්යංශය පරීක්ෂණයක් පවත්වයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ජනවාරි 17 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කොට තිබෙනවා.