රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයෙහි පවතින විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී තිබෙනවා .

රජය විසින් කිහිපවරකදී සිදුකළ වැටුප් සංශෝධන මෙන්ම අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද විවිධ ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් ඇතැම් විශ්‍රාමික කණ්ඩායම්වලට විශ්‍රාම වැටුප් විෂමතා නිර්මාණය වී තිබුණා.

ඒ අනුව, 2016-01-01 දින සිට 2020-01-01 දින දක්වා විශ්‍රාම ගන්නා ලද රාජ්‍ය නිලධාරින්ට යම් අසාධාරණයක් සිදු වී ඇති බව නිරීක්ෂණය වී ඇති අතර, එකී වැටුප් විෂමතාව ඉවත් කිරීම තුළින් විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් 83,000ක පමණ පිරිසකට සහනයක් ලබා දීමට හැකියාව ලැබෙනවා.

එම විශ්‍රාමික නිලධරයන්ගේ විශ්‍රාම වැටුප, 2018-02-25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016හි උපලේඛන අංක 1 අනුව සම්පුර්ණ වැටුප පදනම් කර ගනිමින් උපරිම රුපියල් 2,500ක වැඩිවීමක් ලැබෙන පරිදි සංශෝධනය කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායී කරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.