කඩවත කොටුව මාර්ගයේ ගමන් ගන්නා බස් රථ වර්ජනයක

අද (31) උදෑසන 138 කඩවත – කොටුව මාර්ගයේ ගමන්ගන්නා බස් රථ ආරම්භ කරන ලද වර්ජනයක් නිසා මගීන් දැඩි අපහසුතාවයකට පත්වුණා.

ඒ අනුව කඩවත – කොටුව, වැලිවේරිය – කොටුව හා කිරිල්ලවල – කොටුව යන මාර්ගවල ගමන් ගන්නා සියලුම බස්රථ ධාවනයෙන් ඉවත්ව තිබුණා.

අදාළ වර්ජනය නිසා ඇතිවී තිබුණු කලබලකාරී තත්ත්වය මඟ හැරීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ කිහිපයක් කඩිනමින් ධාවනයට එක් කළ බව සඳහන් වනවා.

කිරිබත්ගොඩ – පිටකොටුව මාර්ගයේ ධාවනය සඳහා අලුත් බස්රථ කිහිපයකට අවසර ලබාදීමෙන් තමන්ගේ ආදායමට දැඩි පහරක් එල්ල වී ඇති බවටයි 138 බස් රථහිමියන් පවසන්නේ.

එසේම කඩවත – කොටුව බස් නැවතුම්පොළේ මතුවී ඇති විශාල මඩවළ හේතුවෙන් මේ වනවිට බස් රථ කැඩී යන තත්ත්වයට පත්ව ඇති බව පවසන බස් රියදුරන් වැසිකිළි උතුරා යෑම හේතුවෙන් දැඩි දුර්ගන්ධයක් ප්‍රදේශයේ පවතින බවත් සඳහන් කළා.

අදාළ හේතූන්ට විසඳුම් ඉල්ලා වර්ජනය ආරම්භ කළ බවත් විසඳුම් නොලැබුණහොත් බස් රථ ධාවනයෙන් තමන් ඉවත්ව සිටින බවත් බස් රථ රියදුරන් පවසනවා.

කෙසේනමුත් අදාළ බස් වර්ජනය හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා මගීන් දැඩි දුෂ්කරතාවයට පත්ව තිබෙනවා.