බේරේ ගද ගහයි – හෝටලුත් වහලා

බේරේ වැවෙන් මේ දිනවල හමා එන දැඩි දුර්ගන්ධය නිසා වැව ආසන්නයේ ඇති හෝටල් පවත්වාගෙන යාම දැඩි දුෂ්කරතාවයකට ලක්ව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

කොළඹ නගරයේ මල අපද්‍රව්‍ය මේ වන විටත් බේරේ වැවැ මුදා හරිමින් තිබෙන අතර මේ නිසා ඇතිවී තිබෙන දැඩි දුර්ගන්ධය එම ප්‍රදේශයේ පවත්වාගෙන යන හෝටල්වලට දැඩි බලපෑමක් එල්ල කර තිබේ. අධික දුර්ගන්ධය නිසා හෝටල් කිහිපයක් මේ වන විට වසා දමා තිබෙන බවද අනාවරණය වේ. බේරේ වැව ආශ්‍රිතව නිවාස සංකීර්ණ කිහිපයක්ම තිබෙන අතර එම නිවාසවල සිටින පුද්ගලයින්ටද අධික දුර්ඝන්ධය නිසා පීඩාවට පත්වීමට සිදුව ඇත.

පොලිතින් ඇතුළු අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් බේරේ වැවට මුදා හරිනු ලබයි. එම අපද්‍රව්‍ය පිරිසිදු කිරීම සදහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව බස්නාහිර පළාත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති සහ බේරේ වැව පිරිසිදු කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් පිහිටුවා ඇති කාර්ය සාධක බලකායේ සභාපති චතුර කහදවආරච්චි සදහන් කළේය. ඒ සදහා කෙටි කාලීන හා දීර්ඝ කාලීන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසුවේය.

බේරේ වැවේ පාවෙන අපද්‍රව්‍ය ඉවත් කිරීම සදහා ස්වයංක්‍රීය බෝට්ටු පද්ධතියක් ක්‍රියාත්මක බවද එක් බෝට්ටුවකින් කිලෝ පන්සියක පමණ අපද්‍රව්‍ය ඉවත් කරන බවද ඔහු කීවේය. මේ අතර කොළඹ අප ජලය බැහැර කරන නල පද්ධතිය වසර සියයකට වඩා පැරණි බවත්, ඇතැම් ස්ථානවල තිබෙන පලුදු නිසා එම අපද්‍රව්‍ය බේරේ වැවට එක්වන බවත් සභාපතිවරයා පැවසුවේය.