හිටපු ඇමති පුතුගේ නිවාස දෙකකට තහනමක්

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතාට අයත් සුඛෝපභෝගී නිවාස දෙකක් පරිහරණය කිරීම තහනම් කරමින් කොළඹ මහාධිකරණය අද නියෝගයක් නිකුත් කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේ අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සළකා බලමින්.

අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබුණේ රමිත් රඹුක්වැල්ල මහතා විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක නිවාස දෙකක් රුපියල් මිලියන 80ක් සහ රුපියල් මිලියන 65 බැගින් මිලදී ගෙන ඇති බවයි.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවත් ඊට අදාළව එම දේපොළ තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් අල්ලස් කොමිසම විසින් අද අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අදාළ දේපොළ ලබන දෙසැම්බර් මස 19 වනදා දක්වා පරිහරණය කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කලා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!