ක්ලබ් වසන්ත ඝාතනයට තවත් අයෙක් අත්අඩංගුවට – ඝාතනය ගැන අලුත්ම අනාවරණය මෙන්න

අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ ද්විත්ව ඝාතනයට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය ජූලි මස 8 වනදා අතුරුගිරිය පොලිස් වසමේ දී ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු ඝාතනය කර තවත් සිව්දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ.

ඒ අනුව ඝාතනවලට අනුබල දුන් සැකකරු ඊයේ (06) දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පියසේ දී අත්අඩංගුවට ගෙන අතුරුගිරිය පොලීසිය වෙත රැගෙන ගොස් තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අවුරුදු 36ක් වුණු දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන් වන්නේ.

මෙම සැකකරු අපරාධයට පෙර සැකකරුවන්ට කුලී නිවසක් ලබාගැනීම හා අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට වෙඩික්කරුවන් දෙදෙනා හා ආයුධ අතුරුගිරිය ප්‍රදේශයට රැගෙන යාමට කුලී වෑන් රථයක් සම්බන්ධ කර දී ඇති බවටයි අනාවරණය වී තිබෙන්නේ.

මෙම අපරාධය සම්බන්ධව අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු මත වෙඩික්කරුවන්ට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පළායෑමට භාවිත කළ බස් රථය කතරගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබිය දී බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ පොලිස් භාරයට ගෙන අතුරුගිරිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අතුරුගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.