නිශ්පාදනය මත පදනම්වූ ශක්තිමත් ආර්ථිකයක් හදනවා – කම්කරු ඇමැතිවරයා මැයි දින පණිවුඩයෙන් සහතික වෙයි

නිෂ්පාදනය මත පදනම් වූ ස්ථාවර හා ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමත්, එම ක්‍රියාවලිය සඳහා සියලු දෙනා සහභාගි කර ගැනීමට අවශ්‍ය පසුබිම සකසා දීමත්, එහි ප්‍රතිලාභ සියලු දෙනාට සාධාරණ ලෙස බෙදී යන ක්‍රමවේදයන් ස්ථාපිත කිරීමත් අපගේ මූලික අරමුණු වන අතර එමගින් ,පොහොසත් රටක් ලස්සන ජීවිතයක්, සියලු දෙනාටම අත්පත් කරදීම අපගේ වගකීම බවත් මැයි දින පණිවුඩය නිකුත් කරමින් කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සදහන් කරයි.

කම්කරු ඇමැතිවරයාගේ මැයි දින පණිවුඩය මෙසේය.

2025 මැයි 01 වන අද දිනට යෙදී ඇති 136 වන ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් පළමු කොටම මාගේ හද පිරි ප්‍රණාමය පුද කර සිටිමි. ලෝකවාසී වැඩ කරන ජනතාවට විශේෂ දිනයක් වූ මැයි දිනය ශ්‍රී ලාංකික අප මෙවර සමරනු ලබන්නේ මනුෂ්‍යත්වය ඉහළින්ම ඔසවා තබමින් වඩාත් යහපත් සමාජයක් නිර්මාණය කිරීම පරමාර්ථ කොටගත් ආණ්ඩුවක් රාජ්‍ය බලය හොබවන මොහොතකයි. 

ශ්‍රී ලාංකේය ජනතාව විසින්, වඩාත් යහපත් ජීවිතයක් ළඟා කර ගැනීම උදෙසා අනිවාර්ය වන දේශපාලන, ආර්ථික හා සමාජීය පරිවර්තනයක් වෙනුවෙන් වසර ගණනාවක් මුළුල්ලේ සිදු කරන ලද අඛණ්ඩ අරගලයන් සහ මැදිහත්වීම් වල ප්‍රතිඵලයක් ලෙස, විශාල බලාපොරොත්තු සහිතව මහජන ආණ්ඩුවක් පිහිටුවීමෙන් අනතුරුව සමරනු ලබන පළමු මැයි දිනය මෙය වීමද විශේෂත්වයකි. 

සෑම අතකින්ම විනාශය කරා ගෙන යමින් තිබූ රට, අභිමානවත් රාජ්‍යයක් ලෙස නැවත ඔසවා තැබීමේ භාරධූර කාර්යයට අප මුල පුරා සිටින මෙම මොහොතේ, විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවද අප විසින් 2025 අයවැයෙන් ලංකා ඉතිහාසයේ වැඩිම මූලික වැටුප් වැඩි කිරීම කරනු ලැබුවේ, ශ්‍රමයේ අභිමානය රකින අතරම කාර්යක්ෂමතාවය සහ ඵලදායිතාවය රඳා පවත්වා ගෙන නව ආර්ථික පුනර්ජීවනයක් කරා ළඟාවීම උදෙසා  තිරසාර අඩිතාලමක් දැමීමේ අරමුණ පෙරදැරි කොටගෙනයි.

මහජනතාවට වග කියන සහ වග වන, වංචාවෙන්, දූෂණයෙන් සහ හොරකමින් තොර නව දේශපාලන සංස්කෘතියක් ගොඩනගමින් සාමූහිකත්වය සහ මනුෂ්‍යත්වය ඉහළින් ඔසවා තබන, වඩාත් යහපත් සමාජයක් නිර්මාණය කිරීමේ ඒකායන බලාපොරොත්තුව අප සියලු දෙනා සතු වේ. 

නිෂ්පාදනය මත පදනම් වූ ස්ථාවර හා ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමත්, එම ක්‍රියාවලිය සඳහා සියලු දෙනා සහභාගි කර ගැනීමට අවශ්‍ය පසුබිම සකසා දීමත්, එහි ප්‍රතිලාභ සියලු දෙනාට සාධාරණ ලෙස බෙදී යන ක්‍රමවේදයන් ස්ථාපිත කිරීමත් අපගේ මූලික අරමුණු වන අතර, එමගින් “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” සියලු දෙනාටම අත්පත් කරදීම අපගේ වගකීමයි. මෙවර මැයි දිනය සමරන ශ්‍රී ලංකාවාසී සියලු ජනයා, එක්ව එක මිටට අත්වැල් බැඳගෙන, එම වගකීම් සහ කාර්යභාරයන් නිසි අයුරින් ඉටු කිරීමට අධිෂ්ඨාන සහගතව කැපවීමෙන් වැඩ කරමු.