එළඹෙන 2025 වසරේ අයවැය ලේඛනය තුළින් වැටුප් විෂමතා ගැටළුව විසඳීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබාදීමට ඒ පිළිබඳ විශේෂ දැනුමක් සහ අත්දැකීම් රැසක් ඇති පාර්ශවකරුවන් සම්බන්ධ කරගනිමින් විශේෂඥ කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ බව පැවසුවේ වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ හා මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා විසින්.
තෘප්තිමත් සේවක පිරිසක් රට තුළ ඇති කිරීම පිණිස ජනතාව වෙනුවෙන් ගත් වැදගත් තීන්දුවක් ලෙස හා එය මහජනතාවගේ අයිතිවාසිකමක් බව අමාත්‍යවරයා පවසනවා.
එමෙන්ම සියලුම ආකාරයේ විරෝධතා හා වැඩවර්ජනවලදී තෘප්තිමත් නොවන සේවකයින් විසින් කරනු ලබන ප්‍රතික්‍රියාවන් නිසා අවසානයේ අපහසුවට පත්වන්නේ සමස්ත පොදු ජනතාව බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
සේවක වැටුප් ගෙවීමේ දී සැලකිල්ලට ගනු ලබන විවිධාකාර සේවා කාණ්ඩයන් පවතින බවත් ඒ එකිනෙක අතර පවත්නා වැටුප්වල විෂමතා හා අසාධාරණකම් පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ නිරන්තර අවධානය යොමුව ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළා.
වැටුප් විෂමතා විසඳීමට යාමේදී එක් කණ්ඩායමකට ලබාදෙන විසඳුම තවත් කණ්ඩායම් රැසකට අලුත් විෂමතා ඇති කරන සුළු බවත් එවන් අතීත අත්දැකීම් ඕනෑ තරම් පවතින බවත් මේ හේතුව නිසා වැටුප් විෂමතා ගැටළු හැකිතාක් විසඳීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබාදීමට මේ පිළිබඳ විශේෂඥ කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.