ඉන්දියාවේ විශාලතම ඒකාබද්ධ ප්‍රවාහන උපයෝගීතා සේවාව වන Adani Ports and Special Economic Zone Ltd. (APSEZ), කොළඹ වරායේ පිහිටා ඇති කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තයේ (CWIT) මෙහෙයුම් ආරම්භ කරන බව නිවේදනය කර තිබේ.
සුවිශේෂී රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ CWIT සංවර්ධනය කිරීම, ඉන්දියාවේ විශාලතම වරාය මෙහෙයුම් ක්‍රියාකරු වන Adani Ports & SEZ Ltd, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමූහ ව්‍යාපාරයක් වන John Keells Holdings PLC හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය යන පාර්ශව ත්‍රිත්වයේ ඒකාබද්ධ ආයතනයක් යටතේ සිදුවනු ඇති අතර, මේ යටතේ ඉදිකිරීම, මෙහෙයුම් හා හුවමාරුව (BOT) යන කරුණුවලට අදාළව වසර 35ක කාලයක් මෙම ගිවිසුම ක්‍රියාත්මක වීමට නියමිතය.
CWIT ව්‍යාපෘතිය ඇ.ඩො. මිලියන 800ක දැවැන්ත ආයෝජනයක් වන අතර මේ යටතේ, මීටර් 1,400ක දිගින් සහ මීටර් 20ක ගැඹුරකින් යුතු වරාය වේදිකාවක් ඉදි කිරීමට යෝජිතය. මෙමඟින් අඩි 20 බහාලුම් ඒකක (TEU) ආසන්න වශයෙන් මිලියන 3.2ක් වාර්ෂිකව පර්යන්තය තුළ හැසිරවීමේ හැකියාව ලැබේ. භාණ්ඩ නෞකා හැසිරවීමේ හැකියාව වැඩි දියුණු කිරීම, යාත්‍රා රැඳවුම් කාලය අවම කිරීම සහ දකුණු ආසියාවේ ප්‍රධාන ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස කොළඹ වරායේ තත්ත්වය ඉහළ නැංවීම සඳහා නිර්මාණය කරන ලද, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය අංගනයක් වූ මෙය කොළඹ වරායේ ප්‍රථම ගැඹුරු ජල පර්යන්තය ද වේ.
2022 වසරේ මුල් භාගයේ මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණු අතර, එතැන් සිට වේගවත් ප්‍රගතියක් අත්කරගෙන ඇත. අති නවීන යටිතල පහසුකම් සමඟ මේ වන විට අවසන් අදියරේ ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින CWIT, කලාපීය සමුද්‍ර සැපයුම්වල මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ විශ්වසනීයත්වය පිළිබඳ නව මිනුම් දඬු සලකුණු කරන්නට සූදානමින් සිටියි.
“CWIT හි මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කලාපීය සහයෝගීතාවයේ වැදගත් සන්ධිස්ථානයක් සලකුණු කරනු නොඅනුමානයි.” යනුවෙන් මේ පිළිබඳ අදහස් දැක්වූ අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි මහතා සඳහන් කළේය. “මෙම පර්යන්තය ඉන්දියානු සාගර වෙළඳාමේ අනාගතය නියෝජනය කරනවා පමණක් නොව, මෙය විවෘත කිරීම මඟින්, ගෝලීය සමුද්‍ර සිතියමේ ශක්තිමත් ස්ථානයක් හිමි වීම ගැනත් ශ්‍රී ලංකාවට ආඩම්බර විය හැකියි. CWIT ව්‍යාපෘතිය දේශීය වශයෙන් ඍජු හා වක්‍ර රැකියා දහස් ගණනක් නිර්මාණය කරන අතර, මේ තුළින් දිවයිනට දැවැන්ත ආර්ථික වටිනාකමක් විවෘත කර දෙනු ඇත. එය අසල්වැසියන් වූ අප අතර ඇති මුල් බැසගත් මිත්‍රත්වය සහ වර්ධනය වන උපායමාර්ගික සබඳතා මෙන්ම දූරදර්ශී රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයක් තුළින් ළඟා කරගත හැකි ජයග්‍රහණ සම්බන්ධයෙන් ද දිය හැකි දීප්තිමත් උදාහරණයක්. වාර්තාගත කෙටි කාලයක් තුළ මෙවැනි ජාත්‍යන්තර ප්‍රමිතියේ පරිශ්‍රයක් ලබා දීම මඟින්, ලෝකයේ ඕනෑම තැනක තීරණාත්මක මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘතියක් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට අදානි සමූහයට ඇති හැකියාව ද මැනවින් පෙන්නුම් කරයි.”
“කලාපීය සමුද්‍ර කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ තත්ත්වය ශක්තිමත් කරන ව්‍යාපෘතියක් වන මෙම බටහිර බහාලුම් පර්යන්තයේ සංවර්ධන ප්‍රගතිය දැකීම අපට ඉමහත් ආඩම්බරයක්.” ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා සඳහන් කළේය. “මෙම ව්‍යාපෘතිය ජෝන් කීල්ස් සමූහයේ විශාලතම ආයෝජනවලින් එකක් වන අතර, ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය විසින් සිදු කළ සුවිශේෂීම ආයෝජනයක් ද වනවා. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ අදානි සමූහය සමඟ එක්ව කොළඹ වරාය, ප්‍රමුඛතම ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කරන්නට අපි සූදානම්. මෙම ව්‍යාපෘතිය කලාපයේ ගෝලීය වෙළඳාම සහ සම්බන්ධතාව වැඩි දියුණු කරනු ඇතැයි අපට විශ්වාසයි.”
Adani Ports and Special Economic Zone Ltd පිළිබඳ බිඳක්
ගෝලීය වශයෙන් විවිධාංගීකරණය වූ අදානි සමූහයේ කොටසක් වූ Adani Ports and Special Economic Zone Ltd (APSEZ), වරාය සමාගමක සිට ඒකාබද්ධ ප්‍රවාහන උපයෝගීතා සමාගමක් දක්වා වර්ධනය වී ඇති අතර, වරාය දොරටුවේ සිට පාරිභෝගික දොරටුව දක්වා පරිපූර්ණ විසඳුම් සපයන සමාගමකි. ඉන්දියාවේ විශාලතම වරාය සංවර්ධන හා මෙහෙයුම් සමාගම වන මෙයට, බටහිර වෙරළ තීරයේ උපායමාර්ගිකව පිහිටා ඇති වරායන් සහ පර්යන්ත 7ක් (ගුජරාටයේ මුන්ද්‍රා, ටූනා, ටෙක්‍රා සහ කන්ඩ්ලා, හසිරා, ඩේජ්, හසිරා හි නැංගුරම් පොළ 13ක්, ගෝවා හි මෝර්මුගාඕ, මහාරාෂ්ට්‍රයේ දීගි සහ කේරළයේ විජින්ජාම්) සහ නැගෙනහිර වෙරළ තීරයේ වරායන් සහ පර්යන්ත 8ක් (බටහිර බෙංගාලයේ හල්ඩියා, ඔඩිෂා හි ධම්රා සහ ගෝපාල්පූර්, ආන්ද්‍ර ප්‍රදේශ් හි ගංගාවරම් සහ ක්‍රිෂ්ණපට්නම්, තමිල්නාඩුවේ කට්ටුපල්ලි සහ එන්නෝර් සහ පුදුචෙරි හි කරෙයිකාල්) අයත් වේ. මෙය රටේ මුළු වරාය පරිමාවෙන් 27%ක් නියෝජනය කරන අතර, වෙරළබඩ ප්‍රදේශවලින් සහ අභ්‍යන්තර ප්‍රදේශවලින් විශාල භාණ්ඩ ප්‍රමාණයක් හැසිරවීමේ හැකියාවෙන් ද සමන්විතය. සමාගම ශ්‍රී ලංකාවේ කොළඹ ප්‍රතිනැව්ගත කිරීමේ වරායක් ද සංවර්ධනය කරමින් සිටින අතර ඊශ්‍රායලයේ හයිෆා වරාය සහ ටැන්සානියාවේ ඩාර් එස් සලාම් වරායේ බහාලුම් පර්යන්තය 2 ක්‍රියාත්මක කරයි. වරාය පහසුකම්, බහුවිධ ප්‍රවාහන සැපයුම් සේවා, A ශ්‍රේණියේ ගබඩා සහ කාර්මික ආර්ථික කලාප ඇතුළු ඒකාබද්ධ සැපයුම් හැකියාවන්ගෙන් සමන්විත APSEZ, වරායේ සිට සැපයුම් වේදිකාව දක්වා පහසුකම් සලසන සමාගමකි. මෙම පහසුකම් රැස සහ ගෝලීය සැපයුම් දාමවල ඉදිරියේදී සිදුවන ප්‍රතිසංස්කරණ සමඟ ඉන්දියාවට වඩාත් වාසිදායක ප්‍රතිලාභ රැසක් අත්කර දෙන්නට ද සමාගම බලාපොරොත්තු වේ. ඉදිරි දශකය තුළ ලෝකයේ විශාලතම වරාය සහ සැපයුම් වේදිකාව බවට පත් වීම සමාගමේ දැක්මයි.