ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය ගැන පොලිසියෙන් හෙළිදරව්වක්

සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට 17 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

එම 17 දෙනා අතර කාන්තාවක්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් සහ වෙඩික්කරුවන් දෙදෙනාද වන බව ඔහු පැවසුවා.

මෙම වෙඩික්කරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් පසුගිය 23 වනදා අත්අඩංගුවට ගෙන තිබූ අතර අනෙක් වෙඩික්කරු ඊයේ (28) පානදුර පිංවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ වෙඩික්කරුවන්ට ප්‍රවාහන පහසුකම් සැපයු මෝටර් රථයේ රියැදුරාව ද ඊයේ පිංවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.

අතුරුගිරිය නගරයේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීම සඳහා පැමිණ සිටි ක්ලබ් වසන්ත ඉලක්ක කර වෙඩික්කරුවන් දෙදෙනෙක් විසින් එම වෙඩිතැබීම සිදුකර තිබුණා.

එහිදී ක්ලබ් වසන්ත සහ එහි සිටි නයන වාසුල නැමැත්තා ජීවිතක්ෂයට පත්වුණා.