රටේ ජනතාවට ඩොලර් බිලියන 08ක සහනයක් -ජනපති

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව ද්විපාර්ශ්වික ණයහිමියන් වෙතින් ඩොලර් බිලියන 05ක ණය පොලී සහනයක් සහ වාණිජ ණයහිමියන් එකඟවී ඇති ආකාරයට ඩොලර් බිලියන 03ක ණය කපා හැරීමක් සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ අනුව ගෙවීමට තිබූ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 08ක සහනයක් රටේ ජනතාවට ලබාදීමට හැකි වී තිබෙන බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුදුසුකම්ලාභීන් 73,143ක් අතුරින් පුද්ගලයන් 463 දෙනෙකු වෙනුවෙන් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීමට අද (05) පෙරවරුවේ කුරුණෑගල වයඹ පළාත් ශ්‍රවණාගාරයේ පැවති උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

නව ආර්ථිකයක් සමග රට ඉදිරියට ගෙන යාමේ දී කුරණෑගල දිස්ත්‍රික්කය ද නව සංවර්ධන සැලැස්මක් යටතේ පුළුල් සංවර්ධනයකට ලක් වන බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ ,

“දැන් ජනතාවගේ ප්‍රශ්න විසඳීම ආරම්භ කර තිබෙනවා. මේ රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ ජනතාව බලාපොරොත්තු අත්හැරියා. අද මම මෙම ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්ට ස්තූති කළ යුතුයි. තමන්ගේ නිවස ගිනිබත් වුවත් ඔවුන් ඒ ගැන සිතුවේ නැහැ. ඔවුන් ජනතාව ගැන සිතා ජනතාවට සහන ලබාදීමට කටයුතු කර තිබෙනවා.

අපට ණය ආපසු ගෙවීම සඳහා වසර 04 ක කාලයක් හිමි වෙනවා. ඒ වගේම වසර 06ක් පමණ සැහැල්ලු බරකින් ණය ගෙවීමට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ගෙවන පොළියෙන් කොටසක් කපා දමා තිබෙනවා. එයින් අපට ඩොලර් බිලියන 05ක් ලැබෙනවා.

ඒ වගේම අප පුද්ගලික බැදුම්කරහිමියන් සමඟ සාකච්ඡා කළා. ණය මුදල අඩු කිරීමට ඔවුන් එකඟ වුණා. ඒ අනුව ඩොලර් බිලියන 03ක පමණ ණය ඉවත්වීමක් සිදු වෙනවා. එසේ නම් සම්පූර්ණයෙන් අපට ගෙවීමට තිබෙන මුදල්වලින් ඩොලර් බිලියන 08ක් ඉවත් කර තිබෙනවා. ඒ වගේම ලිහිල් කොන්දේසි යටතේ අපට ඩොලර් බිලියන 02ක් ලබා දී තිබෙනවා. චීනය ලබාදීමට නියමිත මුදල් සහ ඉන්දියාවෙන් ලැබීමට තිබෙන ආධාර ඊට අයත් වන්නේ නැහැ.

අප ආණ්ඩුව භාරගෙන තවම වසර දෙකක් නැහැ. නමුත් මෙම කාලය තුළදි අප ඩොලර් බිලියන 08ක් බේරාගෙන තිබෙනවා.

ඇතැම් නායකයන් පාරට එන්න, ගෙවල් ගිනි තියන්න කියලා ජනතාවට කිව්වා. ආණ්ඩුවට සහාය දෙන්න එපා කියලා කිව්වා.

බිංගිරිය ප්‍රදේශයේ වෙළෙඳ කලාපයක් ඇති කිරීම වෙනුවෙන් අක්කර 1000ක් පමණ වෙන් කර තිබෙනවා. එය ඉරණවිල සංචාරක කලාපය සමඟ එක් කරනවා. එවිට මෙම බිංගිරිය, මාදම්පේ ප්‍රදේශ විශාල දියුණුවක් ලබනවා. ඒ වගේම කුලියාපිටියේ විශාල කර්මාන්ත දියුණුවක් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. එසේම කෘෂිකර්ම නවීකරණ වැඩසටහන යටතේ විශාලම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ මේ කුරුණෑගල දිස්ත්‍රික්කය තුළයි. ඒ වගේම මෙම පළාතට නව විශ්වවිද්‍යාලයක් ලැබෙනවා. මේ අනුව ඉදිරි වසර කිහිපය තුළ කුරුණෑගල විශාල දියුණුවකට ලක් වෙනවා.” යනුවෙනි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!