වතු කම්කරුවන්ට වැටුප් වැඩි නොකරන හාම්පුතුන්ට රතු එළියක්

රටේ දුප්පත් ජනතාව වෙනුවෙන් විප්ලවීය වෙනස්කම් සිදු කළ අද වැනි යුගයක් ඉතිහාසයේ නොතිබූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

උරුමය,අස්වැසුම, වතුකම්කරු දෛනිව වැටුප් ඉහළ නැංවීම වැනි සුවිශේෂී වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මගින් එය වඩාත් තහවුරු වන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

උරුමය ඔප්පු ප්‍රදානය වෙනුවෙන් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රුවන්වැල්ලේ පැවැති උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

2022 වසරේ දී රුපියල් බිලියන 65ක්ව තිබූ මෙරට සුබ සාධන වියදම මේ වන විට රුපියල් බිලියන 205 දක්වා 150% ප්‍රමාණයකින් ඉහළ නැංවීමට රජයට හැකි වී ඇති බවයි අමාත්‍යවරයා එහි දී සඳහන් කළේ.

අක්‍රමවත්ව පැවැති සමෘද්ධි වැඩසටහන වඩාත් විධිමත් කරමින් අස්වැසුම වැඩසටහන හඳුන්වා දුන් බවත් එහි තව දුරටත් සංශෝධන සිදු කරමින් වඩාත් සුදුසු පිරිසක් තෝරා ගැනීම සඳහා රජය කටයුතු කරන බව ඒ මහතා සඳහන් කළා.

මේ අතර මෙරට දිළිඳු පවුල් ලක්ෂ 34ක් ඉලක්ක කර ගනිමින් සහල් ලබා දීමේ වැඩපිළිවෙළ ද පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාවට සහනයක් බව හා ඒ සඳහා රජය රුපියල් බිලියන 6.5ක් වැය කරමින් සිටින බව අමාත්‍යවරයා පවසනවා.

එමෙන්ම උරුමය වැඩසටහන මගින් බිම්කඩක උරුමය ජනතාවට ලබා දෙමින් ඔවුන්ගේ අනාගත පරිපුර තව දුරටත් ශක්තිමත් කිරීමට රජය කටයුතු කරන බවත් අවධාරණය කළා.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700ක් ලෙස ඉහළ නංවමින් ඉතිහාසයේ සුවිශේෂී පියවරක් තැබූ ජනාධිපතිවරයා එසේ දෛනික වැටුපක් ලබා දිය නොහැකි වතුවලින් ඊට නිදහසට කරුණු විමසීමට සූදානම් බවයි අමාත්‍යවරයා පැවසුවේ.

රජයේ තීරණය පිළිබඳ සාධාරණ ප්‍රතිචාර නොමැති වතු නැවත පවරාගෙන වෙතන පාර්ශ්ව වෙත ලබා දීමට රජය පසුබට නොවන බවත් අමාත්‍යවරයා එහි දී අවධාරණය කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!