රජය ඉදිරිපත් කළ පනත් 2ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතේ සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පෙත්සම ඉදිරිපත් කළේ සර්වජන බලය සංවිධානය විසින් .

එම පෙත්සමේ වග උත්තරකරු ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයායි.

සර්වජන බලය සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග, මහාචාර්ය චන්න ජයසුමන සහ ව්‍යවසායක දිලිත් ජයවීර, වෛද්‍ය ජී. වීරසිංහ සහ නිමල් රණවක ඇතුළු පිරිසක් විසිනුයි පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවේ.

යෝජිත පනත් කෙටුම්පත් තුළින් පාර්ලිමේන්තුව සතු රාජ්‍ය මූල්‍ය බලය ජනාධිපතිවරයා යටතට පත් කිරීමට කටයුතු කර ඇති බව එම පෙත්සම්කරුවන් පවසනවා.

මේ තුළින් පාර්ලිමේන්තුව සතු බලය කප්පාදු කිරීමට කටයුතු කර තිබෙන බවට හා ඒ තුළින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කෙරෙන බවට පෙත්සමේ චෝදනා කර තිබෙනවා.

එසේම යෝජිත පනත් කෙටුම්පත්වල අන්තර්ගත වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් අදාළ පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා.

පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින් දැනුවත් විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි.

මේ අතර අදාළ පනත් කෙටුම් පත් අභියෝගයට ලක් කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුළු පිරිසක් විසින්ද පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!