ශ්‍රි ලංකා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සහ ජනපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් Andrew Patrick මහතා අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබෙනවා.

ඒ ජනාධිපති කාර්යාලයේදී.

දෙරට අතර ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් තහවුරු කරගැනීමේ වැදගත් පියවරක් සනිටුහන් කරමින් මෙම හමුව සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා මෙහිදී සිය සුභාශිංසන පිරිනමා ඇති බවද වාර්තා වනවා.

එසේම ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතාගේ ඉදිරි පාලනය වෙනුවෙන් බ්‍රිතාන්‍ය රජයේ සුබ පැතුම් එක් කළ මහකොමසාරිස්වරයා, අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පිළිබඳව ප්‍රසාදය පළ කෙරෙන III වන චාල්ස් රජුගේ සහ බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ පුද්ගලික සුබ පැතුම් ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුවා.

සෘජු විදේශ ආයෝජන ආකර්ශනය කරගැනීමේ ශ්‍රී ලංකාවේ ප්‍රයත්නයන් සඳහා බ්‍රිතාන්‍ය රජයේ නොමඳ සහයෝගය ලබාදීම පිළිබඳව සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව ද මෙම හමුවේ දී සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා ද බ්‍රිතාන්‍ය රජයේ සහයෝගය ලබා දෙන බවයි ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.