බල්ලන් උසි ගන්වා පොලිසියට පහරදුන් පුද්ගලයෙකුට වෙඩි

වැල්ලම්පිටිය – මීතොටමුල්ල – වඩු ගොඩවත්ත ප්‍රදේශයේ නිවසක නීති විරෝධී මත්පැන් වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට එහි සිටි පුද්ගලයෙකු සුනඛයන් ලිහා සපා කෑමට සලස්වමින් පහරදුන් පුද්ගලයෙකුට පොලිසිය වෙඩිතැබීමක් සිදු කර තිබෙනවා.

අදාළ සිද්ධියෙන් වැල්ලම්පිටිය පොලිසියේ පොලිස් නිලධාරියෙක් තුවාල ලබා කොළඹ – ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරනවා.

එමෙන්ම වෙඩි ප්‍රහාරයට ලක්වූ සැකකරු ද ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

නීති විරෝධී මත්පැන් ජාවාරමක් සිදු කරන බවට පොලිසියට ලද තොරතුරකට අනුව වැල්ලම්පිටිය පොලිසියේ නිලධාරීන් පිරිසක් මීතොටමුල්ල – වඩුගොඩවත්ත ප්‍රදේශයේ සැකකරුගේ නිවස පරික්ෂාවට ලක්කරනවා.

එහිදී සැකකරු සිය නිවසට තුළට ඇතුල්වීමට ඉඩ නොදී බල්ලා ලිහා දමා සපා කෑමට සලස්වා තිබෙනවා.

එමෙන්ම සැකකරු විසින් පොලිස් නිලධාරීන්ට පොලු වලින් පහරදීමද සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් පැවසුවේ.

එම අවස්ථාවේදී පොලිස් සැරයන්වරයෙකු සිය රාජකාරී ගිණි අවියෙන් ඔහුට වෙඩි තැබීමක් සිදුකර ඇති අතර ඉන් සැකකරුගේ එක් පාදයකට තුවාල සිදුව තිබෙනවා.

මේ අතර යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයකු විසින් තමන්ට වෙඩි තැබීමක් සිදු කළ බවට පවසමින් 33 හැවිරිදි කාන්තාවක් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මාතර මහ රෝහල වෙත ඇතුළත් වී ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

පොලිසිය සඳහන් කරන්නේ අද (20) අලුයම 1 ට පමණ මාතර වල්ගම ප්‍රදේශයේ දී මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි.

අදාළ කාන්තාව, මාතර ප්‍රදේශයේ සම්බාහන ආයතනයක හිමිකරුවෙකු සමග යතුරුපැදියක ගමන් කරමින් සිටියදී මෙම වෙඩි තැබිම සිදුව තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!