කාලගුණයේ වෙනසක්

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්.

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසිද ඇති විය හැකියි.

දකුණු පළාතෙත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද මෙහිදි ජනතාවට මතක් කරනවා.