මහින්දගේ වෙඩි නොවදින රථය ආපසු ගනී

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට ලබාදී තිබූ වෙඩි නොවදින රථය නැවත භාරදී තිබේ.

හිටපු ජනාධිපතිවරුන්ට රජයෙන් ලබාදී තිබූ නිවාස, වාහන යළි භාරදෙන ලෙසට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හිටපු ජනාධිපතිවරුන්ට දැනුම්දී ඇත. මේ බව ලිඛිතව දැනුම්දී තිබෙන බවද ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග සදහන් කරයි.

ඒ අනුව බ්‍රහස්පතින්දා සවස හිටපු ජනාධිපතිවරයාගේ වෙඩි නොවදින රථය භාරදී ඇත.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදා තිබූ වාහන හා අනෙකුත් පහසුකම් මුල් වටයේදී අඩු කිරීමේදී මහින්ද රාජපක්ෂ වෙත ලබාදී තිබූ අතිරේක වාහන ඉවත් කරගෙන තිබේ. ඒ අනුව ඔහු සතුව තිබී ඇත්තේ වෙඩි නොවදින රථයත්, තවත් ආරක්ෂකයින්ට ගමන් කිරීම සදහා වන රථයකුත් පමණි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දැනුම්දීම අනුව බ්‍රහස්පතින්දා සවස මෙම වාහන දෙකම යළිත් ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදී තිබෙන බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.