අලුත් බදු ක්‍රමය නිසා අපනයනකරුවෝ අමාරුවේ – අලුත් ක්‍රමය කල් දාන්නැයි ඉල්ලීමක්

අපනයනයකරුවන් සදහා පැවති එස් වැට් ක්‍රමය අහෝසි කරමින් දින හතලිස් පහක් තුළ වැට් බද්ද නැවත ගෙවීම සදහා අනුගමනය කරනු ලබන ක්‍රමවේදය නිසා තමන් දැඩි අපහසුතාවයට පත්වන බවත් මේ නිසා මෙම ක්‍රමවේදය කල් දමන ලෙසත් අපනයනකරුවෝ ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

ඇගළුම් අපනයනකරුවන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල අපනයනකරුවන් එක්ව කොළඹදී අද උදෑසන පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඉල්ලා සිටියේ ලබන මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මෙම ක්‍රමවේදය කල් දමන ලෙසයි.

මේ පිළිබද ජනාධිපතිවරයා සමගත් සාකච්ඡා කර ඇති බවද ඔවුහු පවසති.

මිනිසුන්ගේ මැදිහත්වීමකින් තොරව, ඩිජිටල් ක්‍රමවේදයක් හරහා මෙම වැට් ප්‍රතිපූර්ණය කිරීමේ යටිතල පහසුකම් ඇති නොකර මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම නිසා බරපතල ගැටලු ඇතිවිය හැකි බවද ඔවුහු පෙන්වා දෙති.

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම සඳහා සුවිශේෂී දායකත්වයක් දක්වන ඇඟලුම් ක්ෂේත්‍රය සරල කරන ලද වැට් බදු ක්‍රමය අහෝසි කිරීමත් සමගම රුපියල් බිලියන 12ක මුදලක් වැට් බදු ලෙස ගෙවිමට සිදු වනු ඇත. අපනයනකරුවන් විසින් මෙසේ ගෙවනු ලබන වැට්බදු ප්‍රතිපූර්ණය දින 45ක් තුල ඔවුන්ට හිමි විය යුතුව ඇත. එබැවින් අනිසි ප්‍රමාදයකින් තොරව වැට් බදු ප්‍රතිපූර්ණය අපනයනකරුවන්ට හිමි වීම තුලින් දැඩි පීඩනයකින් තොරව මුදල් ප්‍රවාහය කළමනාකරණය කිරීමට අපනයනකරුවන්ට හැකි වන අතර එක්සත් ජනපද බදු හා ගෝලීය මිල පහල යෑම හමුවේ මේ තත්වය වඩාත් තීරණාත්මක වේ.
මීට අමතරව සරල කරන ලද වැට් බදු ක්‍රමය අහෝසි කිරීම සැපයුම්කරුවන් සඳහා සෘජුව බලපානු ඇත. විශේෂයෙන්ම ඇමරිකානු ඩොලර් බිලියන 1ක අමුද්‍රව්‍ය පදනමක් රට තුල ගොඩනැංවීම සඳහා දායක වීමට නියමිත අපනයනකරුවන්ට මේ නිසා ක්ෂණික තරඟකාරීත්වයකට මුහුණ දීම අභියෝගාත්මක වනු ඇත” යනුවෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔවුහු පැවසූහ.