අදින් වසරකට පෙර, 2024 සැප්තෑම්බර් 23 දින බෙදී වෙන්වන එජාප කඳවුරට අත්වන ඉරණම කුමක්දැයි ඡන්දදායකයින් පාඩමක් ඉගැන්වූවේ ය.
එකම වරද පාර්ලිමේන්තු මැතිවරණයේ දී ද, පලාත් පාලන ඡන්දයේ දී ද, නැවත නැවතත් සිදු කිරීමට අලි – දුරකතන පක්ෂ දෙක කටයුතු කළේය.
දැන් ඊලඟ පලාත් සභා ඡන්දයේ දී ද, එ් වරද තවත් සැරයක් සිදු කිරීමට ඔවුන් සුදානම් වෙමින් ඇත.
පසුගිය ජනාධිපතිවරණයේ දී,
අනුරට ඡන්ද ලක්ෂ 57 ක් ද,
සජිත් ට ඡන්ද ලක්ෂ 45 ක් ද,
රනිල්ට ආසන්නව ඡන්ද ලක්ෂ 23 ක් ද,
නාමල්ට ඡන්ද ලක්ෂ 3 ක් ද ලැබුණි.
සජිත් ප්‍රේමදාස 2019 ඡන්ද ලක්ෂ 55 ලැබුණි. පසුගිය ජනාධිපතිවරණයේ දී එය ඡන්ද ලක්ෂ 10 කින් අඩුවිය.
එම ඡන්ද රනිල් පමණක් නොව ශ්‍රීලනිප, පොහොට්ටුවේ සහ තවත් පාවෙන ඡන්ද රැසක් සැලකිය යුතු ප්‍රමාණයක් රනිල් ට ලැබුණි.
එක්ව තරඟ කරන විට එජාප කඳවුර දිනන්නටත්, වෙන්ව තරඟ කරන විට පරදින්නේත් ඒ විදිහටය.
එජාප – සජබ බෙදීම හේතුවෙන් ජනාධිපතිවරණයක් තබා පළාත් පාලන ආයතනයක්වත් දිනාගත නොහැකි බවට මෙයට වඩා සරළ අංක ගණිතයක් නැත.
2024 ජනාධිපතිවරණයෙන් එජාප කඳවුර පරාජයට පත් වූයේ බෙදී වෙන්වීම නිසා පමණක් නොවේ. ලංකා ඉතිහාසයේ එජාප/සජබ කඳවුර විසින් ගනු ලැබූ, අමන, තකතීරු, කුජීතම මරිමෝඩ තීරණය නිසා බව මම ප්‍රතිඑල නිකුත් වීමටත් පෙර ලියා තැබුවෙමි.
සජබ තමන්ට දෙවනි මනාපය එපා යැයි සමාජ මධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් දුන්නේය. ආසන සංවිධායකයින් හරහා දෙවන මනාපය එපා යැයි කීවේය. මේ තීරණය ආපසු හරවන්නට එදා අප උත්සහ කළේය.
දෙවනි මනාපය එපා කියූ නමුත්, සජිත්ට දෙවන මනාප 167,867 ක් සලකුණු කර තිබුණි. අනුරට ලැබුණු දෙවන මනාප ගණන 105,264 කි. සජිත් ට එජාපයේ දෙවන මනාපය පහසුවෙන්ම දිනාගත හැකිව තිබුණි.
එකට එක්වී තරඟ කළේ නම්, එජාප කඳවුර උඩින්ම දිනා එජාප/සජබ ජනපති අගමැතිවරු අද රට පාලනය කරන්නේය. අඩුම ගානේ දෙවන මනාපයට කැම්පේන් කරන්නට එදා එජපා/සජබ මැතිවරණ ව්‍යාපාරය ඥානයක් තිබුණේ නම් ඒත් අද සජිත් ප්‍රේමදාස ජනපති ය.
සජිත් ට මෙම මැතිවරණයේ පහසුවෙන්ම දිනාගත හැකිව තිබු, රනිල් වික්‍රමසිංහට ලැබුණු ඡන්දයේ දෙවන මනාපය ඔවුන් අතහැර දමනු ලැබීය.
සජිත් ට ජයග්‍රහණය පිළිබඳ තබා ගත හැකිව තිබූ පුංචිම පුංචි බලාපොරොත්තු එම අමන මරිමෝඩ තීරණය නිසා නැති කර ගත්තේය.
අනෙක් අතට, සංඛ්‍යාන විද්‍යාව උගත් විද්‍යා උපාධිධාරියෙකු වන අනුර, නිශ්චිතවම තමන්ට දෙවන මනාපය හිමි නොවන බව දැන තනි මනාපයට කැම්පේන් කළේය. දෙවන මනාපය ගැස සමාජ මාධ්යා යේ ලියන විට එයට අධෛර්ය කරන්නට, තලා තමන්නට මාලිමා කඳවුර සක්‍රීය වූවේය.
සජබ කිසිදු තාර්කික පදනමක් නොමැතිව, අන්ධව ‘මනාපය එපා. සජිත්ට කතිරය විතරයි. කැම්පේන් එකට කර ගසා දෙවන /තුන්වන මනාපයේ වාසිය නැති කර ගත්තේය.
අනුර ජනාධිපතිවරණය දිනීමේ ප්‍රධාන සාධක දෙකකි. එකක් කොළපාට එජප කඳවුර බෙදී සිටීමය. දෙවැන්න, සජබ සිය ඡන්ද ව්‍යාපාරයේ (දෙවන) මනාප එපා කියා, මනාප කැම්පේන් එක විනාශ කර ගත් නිසාය.
දේශපාලනය කලාවකි.
මැතිවරණ යනු විද්‍යාවකි.
එම විද්‍යාව නොතේරෙන කිසිවෙකු මැතිවරණයකින් ජයගන්නේ නැත.
කොළපාට එජාප/සජබ කඳවුර තවමත් ඉගෙන නොගත් පාඩම එයයි.
රජිත් කීර්ති තෙන්නකෝන්