ශ්‍රී ලංකාවේ ආහාර පිළිබඳ රස කතා ලොවට ගෙන යන TikTok හි Travel Today

මීට අවුරුදු කීපයකට පෙර තමන් කැමති, තමන්ට ගැලපෙන රසවත් ආහාර වේලක් සපයා ගැනීමට තැනක් සොයා ගැනීම අතිශය දුෂ්කර කාර්යයක් විය. එවන් ස්ථාන කොතෙකුත් තිබූණද එම ස්ථාන පිළිබඳ අවබෝධයක් නොමැති වීම හා ඒවා පිහිටි තැන් නොදැන සිටීම ද ඊට හේතු විය. එසේම ඒවා ජනතාව අතර කතා බහට ලක් නොවීමද තවත් එක් කරුණක් විය. ඒ නිසාම බොහෝ කාලයක් රිසි සේ රසවත් ආහාර අත්දැකීමක් භුක්ති විඳීමට ඇති අවස්ථා ගිලිහී යන්නට ඇත. තවදුරටත් එසේ නොවනු ඇත. ඔබට ඔබ කැමතිම රසයන් පහසුවෙන් සොයා ගැනීමටත් රස විඳීමටත් හැකි වනු ඇත. ඒ වෙනුවෙන් මඟ පෙන්වන්නට සඳරු බණ්ඩාර වීරසේකර (බණ්ඩා) දැන් සූදානමිනි. මේ TikTok වේදිකාව තුළ Travel Today නමින් ගිණුමක් පවත්වාගෙන යමින් සැබෑ ශ්‍රී ලාංකේය රස ලොවට ගෙන යන ඔහුගේ ගමන පිළිබඳව සටහනකි. 

ආහාර පිළිබඳ අන්තර්ගතයන් බොහොමයක් TikTok වේදිකාව තුළ දැකිය හැකි වුවත් Travel Today තුළ ඇත්තේ ඊටම ආවේණික අනන්‍යතාවයකි. එපමණක් නොව එහි ඇති සමීප බව හා අව්‍යාජත්වය නිසාම ඉතා කෙටි කලක් තුළ බොහෝ දෙනා අතර ජනප්‍රිය වූ බව රහසක් නොවේ. 

“ඒ වෙද්දි ලංකාවේ ආහාර ගැන යූ ටියුබ් නාලිකාවක් තිබුණෙ නෑ. ඒ නිසා තමයි 2018 වසරෙදි Travel Today යූ ටියුබ් එක ආරම්භ කළේ. අලුත් දෙයක් හොයාගෙන යන්න ආසාවෙන් හිටපු අපට එය ලොකු අවස්ථාවක් වුණා.” සඳරු පවසයි.

සැබෑ දේශීය රසයන් සොයා යමින් ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ සැඟවුණු ආහාර සංස්කෘතීන් වෙත යළි ජීවය ලබා දීම අරමුණු කරගත් සඳරුගේ ගමන නිසාම අදවන විට දේශීය රසයන් ලෝකය වෙත ගෙන යාමට හැකිව ඇත්තේ දේශීය මෙන්ම විදේශීය ආහාර ලෝලීන්ට කුතුහලයක් එක් කරමිනි. බොහෝ දෙනා මෙතෙක් රස නොවිඳි දුර්ලභ ආහාර වර්ග මෙන්ම අසමසම රසයන් සොයා යන්නට Travel Today කණ්ඩායමට හැකි විය. 

“ශ්‍රී ලංකාව සතුව ඉතා විශිෂ්ට ආහාර සංස්කෘතියක් තිබෙනවා. වෙනත් රටවල මේ තරම් ආහාර විවිධත්වයක් දැකගන්නට ලැබෙන්නෙ නෑ. අප ඉදිරිපත් කරන සෑම ආහාරයකම අපි ගොඩවන සෑම ස්ථානයකම ආහාර අනන්‍යතාවයක් තිබෙනවා. තරු පහේ හෝටලයේ ඉඳන් පොල් අතු පැල දක්වා ඒ විවිධත්ව සංස්කෘතිය අත්විඳිය හැකියි.” ඒ සඳරුගේ අදහසයි.

සෑම විටම තමන්ගේ වීඩියෝ නරඹන්නන් වෙත හොඳම අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් ආහාර සොයා යන ස්ථානයට ළඟා වීමට පෙර එහි රූගත කිරීම් සිදු කරන ආකාරය පිළිබඳව පෙර පුහුණුවීම් සිදු කිරීම Travel Today කණ්ඩායමේ විශේෂත්වයයි.

ආහාර සංස්කෘතිය, ප්‍රජාව හා ඒ පිටුපස ඇති කතාව පිළිබඳ රූපයට නැගෙන්නේ එලෙසිනි.

මුලදී යූ ටියුබ් පිළිබඳව පමණක් උනන්දු වූ බණ්ඩාට TikTok පිළිබඳව එතරම් උනන්දුවක් නොවීය. ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය වේදිකාවන් කෙරෙහිද ඔවුන් අවධානය යොමු කළහ. පසුව වුවත් TikTok පිළිබඳව අවධානය යොමු කළ ඔවුන් ඒ හරහා සුවිසල් ජනප්‍රියත්වයක් අත්කර ගැනකීමට සමත් වූයේ දේශීය ආහාර හා සංස්කෘතිය පිළිබඳවද වැඩි වැඩියෙන් ජනතාව අතරට ගෙන යාමට සමත් වෙමිනි.

ඒ නිසාම අද වන විට TikTok හි අනුගාමිකයින් 200,000ක අධික පිරිසකගේ ආදරය දිනා ගැනීමට ඔවුන්ට හැකිව තිබේ. සැබැවින්ම TikTok වේදිකාව ඔවුන්ගේ අන්තර්ගතයන් වෙත ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට මෙන්ම වැඩි ආකර්ෂණයක් දිනා ගැනීමට හොඳම අවස්ථාවක් බවට පත්ව ඇත. විශේෂයෙන් වැඩි තරුණ ප්‍රජාවක් වෙත සමීප වීමටද ඔඍවුන්ට එය කදිම අවස්ථාවක් විය.

අදවන විට Travel Today අන්තර්ගතයන් හරහා මෙරට ආහාර විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරන අතරම ඒ හා සම්බන්ධ ව්‍යාපාර ආයතන කිහිපයක් සමඟද සම්බන්ධ වෙමින් කටයුතු කරන බණ්ඩා ඇතුලු කණ්ඩායම නිරන්රයෙන් අලුත් දෙයක් ඉදිරිපත් කිරීමට කැපවී සිටියි.

එහි ප්‍රතිඵලයක් පසුගියදා යාපනයේ ආහාර සංස්කෘතිය සොයා යන්නට ඔවුන් කටයුතු කරනු ලැබුවේ බොහෝ රසිකයින්ට නවමු අත්දැකීමක් එක් කරමිනි.

හෙට දවසේදී ශ්‍රී ලංකාවෙන් පිටත විවිධ රටවල ආහාර හා ඒ ආශ්‍රිත සංස්කෘතීන් පිළිබඳ සොයා බලමින් ඒවා රසිකයින් සමඟ බෙදාහදා ගැනීමේ ආශාව Travel Today බණ්ඩාගේ සිහිනයක්ව ඇත. ඒ සිහිනය නුදුරේදීම සැබෑ වනු ඇත.

බණ්ඩාගේ Travel Today සමඟ ඔබටද විනෝදය මෙන්ම මෙතෙක් අත් නොවිඳි ආහාර රසයන් සොයා යන්නට හැකි වනු ඇත. එය ඔබටද අසමසම අත්දැකීමක් වනු ඇත.