ශවේන්ද්‍ර සිල්වාගෙන් විමල්ට එන්තරවාසියක්

අමාත්‍ය විමල් වීරවංශ විසින් සිදුකරන ලද ප්‍රකාශයකට එරෙහිව ශවේන්ද්‍ර සිල්වා එන්තරවාසියක් යොමු කර ඇති බව වාර්තා වේ.

ඒ “නවය: සැඟවුණු කතාව” ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේදී එම ග්‍රන්ථයේ කර්තෘ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ තමා රජය පෙරළීමේ කුමන්ත්‍රණයක් සඳහා සහාය දැක්වූයේ යැයි කළ ප්‍රකාශය අසත්‍ය හා පදනම් විරහිත බව සඳහන් කරමින් හිටපු යුද හමුදාපති සහ වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් ඔහුගේ නීතිඥවරුන් මාර්ගයෙන් වීරවංශ මන්ත්‍රීවරයාට එන්තරවාසියක් යොමු කර ඇත.

එමෙන්ම ඊට පසුව රූපවාහිනී වැඩසටහනක දී සහ තවත් අවස්ථා කිහිපයකදීද මන්ත්‍රීවරයා මේ ආකාරයට තමා සම්බන්ධයෙන් අසත්‍ය හා පදනම් විරහිත චෝදනා එල්ල කළ බව ද එම එන්තරවාසියෙන් වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

තවද, තමා සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය මෙන්ම පදනම් විරහිත බවත් පුරා වසර හතළිහකට ආසන්න කාලයක් මාතෘ භූමිය සහ ජාතිය වෙනුවෙන් කළ මෙහෙවර දේශීය සහ විදේශීය වශයෙන් ලබාගත් ගෞරවය සහ කීර්ති නාමය මෙම ප්‍රකාශයෙන් හානි වන බවත් ඔහු සඳහන් කර ඇත.

මන්ත්‍රීවරයාගේ දේශපාලන අවශ්‍යතා මුදුන්පත් කරගැනීම සඳහා මෙම අසත්‍ය චෝදනා හිතාමතාම නිර්මාණය කර තිබෙන බවට ජෙනරාල්වරයා විසින් එම එන්තරවාසියෙන් වැඩිදුරටත් කරුණු පෙන්වාදී ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *