අධිවේගී මාර්ග මෙහෙයුම් සඳහා නව අධි සුඛෝපභෝගී බස් රථ 200ක්

අධිවේගී මාර්ග මෙහෙයුම් සඳහා නව අධි සුඛෝපභෝගී බස් රථ 200ක් ප්‍රසම්පාදනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සාමාන්‍ය බස් රථ ඇණියෙන් 52%කට ආසන්න ප්‍රමාණයක් සහ සුඛෝපභෝගී බස් රථ ඇණියෙන් 94%කට ආසන්න ප්‍රමාණයක් ආර්ථික ආයු කාලය ඉක්මවා ගොස් ඇති බැවින්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රීලංගම) බස් රථ ඇණියට නව බස් රථ හඳුන්වා දීමේ හදිසි අවශ්‍යතාවක් පවතී.

අධිවේගී මාර්ගවල මගී ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් බස් රථ නොමැතිකම හමුවේ ශ්‍රී ලංගම විසින් දැනට පෞද්ගලික අංශයට අයත් සුඛෝපභෝගී බස් රථ 61ක් ලාභ බෙදා ගැනීමේ පදනම මත ධාවනයේ යොදවනු ලබයි.

අධිවේගී මාර්ග සඳහා අධි සුඛෝපභෝගී බස් රථ 200ක් තම අරමුදල් යොදා ගනිමින් මිල දී ගැනීමට ශ්‍රී ලංගමය විසින් තීරණය කර ඇත.

ඒ අනුව, මූල්‍ය හැකියාව ඇති ඩිපෝ මඟින් අධි සුඛෝපභෝගී බස් රථ 29ක් ඍජුවම මිල දී ගැනීමටත්, ශ්‍රී ලංගමයේ අරමුදල් භාවිත කරමින් මූලික ගෙවීම් සිදු කර, ඉතිරි මුදල වසර 05ක් තුළ මාසික වාරික වශයෙන් උපයන ආදායමෙන් ගෙවීම හරහා සෙසු බස් රථ ප්‍රමාණය මිල දී ගැනීමටත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

මේ අතර ළමයින් වෙළෙඳාම් කිරීම සම්බන්ධ සංවිධානාත්මක අපරාධ අනාවරණය කර ගැනීම, හඳුනාගැනීම, විමර්ශනය කිරීම සහ නඩු පැවරීම පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් සඳහා වන සම්මත මෙහෙයුම් පටිපාටිය ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ එම යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් එලෙස අනුමත කර ඇත.

සූරාකෑම සඳහා වන ළමා වෙළෙඳාම බරපතළ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් මෙන්ම ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධයක් වශයෙන් සලකනු ලබයි.

ඒ අනුව, එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය සහ අනෙකුත් ජාත්‍යන්තර ප්‍රතිපත්ති රාමු යටතේ වන බැදීම් හා අනුගත වෙමින් ශ්‍රී ලංකාව සිය ජාතික ප්‍රතිචාරය නෛතික ආයතන සහ කාර්ය පටිපාටිමය යාන්ත්‍රණයක් තුළින් සවිමත් කිරීමට කැප වී සිටී.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය විසින් කාන්තා හා ළමා කාර්යාංශය, ශ්‍රී ලංකා පොලීසියේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ විවිධ ඒකක, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, නීතිපති දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාළ පාර්ශ්වකරුවන් හා එක්ව “ළමයින් වෙළෙඳාම් කිරීම සම්බන්ධ සංවිධානාත්මක අපරාධ අනාවරණය කර ගැනීම, විමර්ශනය කිරිම සහ නඩු පැවරීම පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් සඳහා වන සම්මත මෙහෙයුම් පටිපාටිය” යනුවෙන් පුළුල් සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කර ඇත.

එකී සම්මත මෙහෙයුම් පටිපාටිය සඳහා නීතිපතිගේ නිෂ්කාශණය ලැබී තිබේ.

ඒ අනුව, ළමයින් වෙළෙඳාම් කිරීම සම්බන්ධ සංවිධානාත්මක අපරාධ අනාවරණය කර ගැනීම, විමර්ශනය කිරීම සහ නඩු පැවරීම පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් සඳහා වන සම්මත මෙහෙයුම් පටිපාටිය අදාළ පාර්ශ්වකරුවන් විසින් විධිමත් ව ක්‍රියාවට නැංවීමට හැකිවන සේ එකී සම්මත මෙහෙයුම් පටිපාටිය රජයේ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කිරීම පිණිස මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.