වෙනස් වෙන්න .. නැතිනම් අපි වෙනස් කරනවා-ජනාධිපතිගෙන් රාජ්‍ය නිලධාරීන්ට රතු එළියක්

පරණ පුරුදු අරහැර අලුත් වීමට කාලය පැමිණ ඇති බවත්, වෙනස් වන්නේ නැතිනම් අපි වෙනස් කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දුන්නේය.

දේශපාලන අධිකාරිය යහපත්වී තිබුණාට පැරණි නිලධාරී යාන්ත්‍රණයේ කොටස් පැරණි පුරුද්දෙන් ගැලවීමට අසමත්ව තිබෙන බවත්, පාස්පෝට් දෙපාර්තමේනත්ුවෙන් හොර පාස්පෝට් හදපු නිලධාරීන්, රේගුවෙන් භාණ්ඩ එළියට දාපු නිලධාරීන්, පතල් කාර්යාංශයෙන් විවිධ අක්‍රමිකතා කළ නිලධාරීන් හමුවන බවද ජනාධිපතිවරයා කෑගල්ලේදී පැවති ජගත් පරිසර දින උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසුවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීවේය.

අද ඉතාමත් වැදගත් දිනයක්. මම රැස්වීම් විශාල ප්‍රමාණයක් ආමන්ත්‍රණය කර තිබෙනවා. විවිධ අදහස්, විවිධ අවස්ථාවල ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහෙත් අද මට පැවරී තිබෙන්නේ හුදු කතාවක් නොවෙයි. මට පැවරී තිබෙන්නේ අපේ මාතෘ භූමියත්, අපේ පරිසර පද්ධතියත් පිළිබඳ බැඳීමක් සහ වගකීමක්. ඒ වගේම මෙම උත්සවයත් හුදු උත්සවයක් නොවෙයි. පරිසර පද්ධතිය පිළිබඳ අපේ බැදීම, හැගීම සහ වගකීම ප්‍රකාශයට පත් කිරීමක් කියා මම විශ්වාස කරනවා. විදේශිකයන් අපිට හමු වුණොත් එම සියලුදෙනා කියන්නේ ඔබේ රට ලස්සන රටක් කියලා. අපේ රටේ පරිසර පද්ධතිය පිළිබඳ ඉතා අගනා ඉතිහාසයක් අපට හිමි වී තිබෙනවා. මේ පරිසර පද්ධතිය වර්තමානයේ අපේ රට ලස්සන කර තිබෙනවා.
එහෙත්, අපට පෙනෙන මේ අලංකාරත්වය පිටුපස ඉතාමත් ගැඹුරු ඛේදවාචකයක් තිබෙනවා. අපට මේ පෙනෙන සුන්දරත්වයද සැබවින්ම පරිසර පද්ධතිය තුළ තිබෙනවාද?. ඊට වඩා ගැඹුරු ඛේදවාචකයට අපි මුහුණ දී තිබෙනවා. අපි කුඩා කාලයේදී අපේ රාජ්‍යය හඳුනා ගත්තේ නාය යාම්වලින් තොර රාජ්‍යයක් ලෙසයි. එහෙත් අපේ ජීවිත කාලය තුළම අපි නාය යාමේ ඛේදවාචකය අත් විඳිනවා. අපි කුඩා කාලයේදී අපේ රට හඳුනා ගත්තේ ගංවතුර සහ විශාල නියඟවලින් තොර රාජ්‍යයක් ලෙසයි. එම හිමිකම සමඟ ඉපදුණු අපි අපේ ජීවිත කාලය තුළම මහා ගංවතුරවල සහ මහා නියඟවල විනාශය අත් විදිනවා. ඒ වගේම අලි මිනිස් ගැටුම විශාල ඛේදවාචකයක් වී තිබෙනවා.
ඉතාමත් හොද ජෛව පද්ධතියක් තිබූ අපේ රටේ පරිසර පද්ධතිය සහ එහි වෙසෙන ජීවින් අතර විශාල ගැටුමක් නිර්මාණය කර තිබෙනවා. ඒ නිසා වර්තමානයේ ජිවත්වන අපිට අත්හැරිය නොහැකි වගකීමක් සහ යුතුකමක් තිබෙනවා. අපි මේ රාජ්‍ය තුළ පරිසර පද්ධතිය යළි ප්‍රතිෂ්ඨාපනය කළ යුතුයි. මේ ඛේදවාචකය මේ ආකාරයටම ඉදිරියට ගිය හොත් අපේ අනාගත පරපුර වෙත අපි හිමිකර දෙන්නේ මහත් ඛේදවාචකයක්. ඒ නිසා වර්තමානයේ ජීවත් වන පුරවැසියන් ලෙස අප හමුවේ තිබෙන් අත්හළ නොහැකි වගකීම වන්නේ මේ පරිසර පද්ධතිය යළි ප්‍රතිෂ්ඨාපනය කර අනාගත පරපුරට ආරක්ෂා කර දීමයි. මෙම පරිසරය පිටුපස ශක්තිමත් අණපනත් විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපේ රටේ බලවත්ම, අණපනත් තිබෙන්නේ පරිසර ක්ෂේත්‍රය තුළ. ඒ වගේම එම අණපනත් ක්‍රියාත්මක කිරීම සහ එමගින් පරිසරයට ආරක්ෂාව ලබා දීම වෙනුවෙන් ඉතා විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙනවා.
පළමුව මෙම විනාශයන් පසුපස දේශපාලන අධිකාරිය තිබෙනවා. අපේ රටේ ප්‍රාදේශීය වැලි තොටුපළවලින් විශාල ප්‍රමාණයක් අයත් වන්නේ දේශපාලනඥයන්ට, එහෙම නැත්නම් දේශපාලනඥයාගේ සමීපතමයෙකුට. මේ තත්ත්වය මට වඩා හොඳින් ඔබ දන්නවා. අපේ වන විනාශය පිටුපසත් දේශපාලනඥයන් සිටිනවා. මේ වනය විනාශ කිරීමට දේශපාලන අධිකාරියේ ආරක්ෂාව සහ රැකවරණය තිබුණා.
ඔබ ජීවය මරා දමන පංගුකරුවෙක් වෙන්න එපා. ඔබ ජීවය ලබා දෙන පංගුකරුවෙක් වන්න. ඊට අවශ්‍ය දේශපාලන රැකවරණය අපි ලබා දෙනවා. දේශපාලන අධිකාරිය යහපත්කරණයට ලක් වී තිබුණාට පැරණි නිලධාරි යාන්ත්‍රණය යම් කොටස් පැරැණි පුරුද්දෙන් ගැලවෙන්න අසමත් වී තිබෙනවා. පාස්පෝර්ට් දෙපාර්තමේන්තුවෙන් හොර පාස්පෝර්ට් හදපු නිලධාරීන් හමු වෙනවා. රේගුවෙන් භාණ්ඩ එළියට දාපු නිලධාරීන් හමු වෙනවා. පතල් කාර්යාංශයෙන් විවිධ ආක්‍රමිකතා කළ නිලධාරීන් හමු වෙනවා. ඒ නිසා අපි කියන්නේ පරණ පුරුදු අත්හැර අලුත් වෙන්න කාලේ ඇවිත් තිබෙනවා. මා නැවත නැවත මතක් කරන්නෙ වෙනස් වෙන්න නැත්තම් අපි වෙනස් කරනවා.
මා අනුරාධපුරේ සිටින කාලේ අනුරාධපුර කියන්නේ බඹයක් කැපුවත් වතුර තිබුණු නගරයක්. එහෙත් දැන් බඹ දහයක් කැපුවත් අනුරාධපුරේ වතුර හොයා ගන්න නැහැ. අප හිතුවේ නැහැ අපේ ජීවිත කාලයේදී අනුරාධපුරේ වතුර විකුණන කඩ පැමිණේවි කියලා. ඉස්සර කඩුගන්නාව නගිද්දී අපට ඇහෙන්නේ රැහැයින්ගේ සද්දෙයි, වතුර සද්දෙයි. අපේ කන් අගුල් වැටුණා. දැන් එහෙම වෙන්නෙ නෑ පරිසරය වියළිලා. අපේ ජීවිත කාලය තුළදීම මේ ඛේදවාචකය අත්දකින පරම්පරාවක් බවට පත් වෙලා.
මධ්‍යම කඳුකරයේ තිබෙන ජලාශ විශාල ප්‍රමාණයක් රොන්මඩවලින් පිරී තිබෙනවා. පාරිසරික ව්‍යාපෘති ඉදි කිරීමේදී අපි පරිසරය පිළිබඳව කල්පනා කළාද කියා නැවත සිතා බලන්න ඕනේ. අපේ ඉතිහාසයේ මුතුන්මිත්තෝ කවදාවත් මධ්‍ය කඳුකරේ ජලාශ ගොඩනැඟුවේ නැහැ. හැමදෙනාම සිදු කළේ මධ්‍ය කඳුකරය ආරක්ෂා කරලා එයින් ලැබෙන වතුර තැන්නෙදි හරස් කරලා ජලාශ හැදීමයි. මිණිපෙ ඇළ හැදුණේ එහෙමයි. එකල මධ්‍යම කඳුකරයේ තමයි අලි ගහනය වැඩියෙන් තිබුණේ.
අපේ පරිසර පද්ධතිය තුළ කොක්කු රෑන්, සමනල රෑන් අද දකින්න නැහැ. මිනිසා සිදු කළ ව්‍යසනයේ ප්‍රතිඵල අපට පෙනෙන්නට තිබෙනවා. සමනලුන් පෙනෙන්න නැති දේශයක අද කුඩා ළමුන් හැදෙන්නේ. එම නිසා සමනලුන් නැවත පැමිණෙන පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම අපගේ වගකීමයි. ඕනෑම ක්ෂේත්‍රයක් පිළිබඳව වෙනස් සංකල්ප තිබෙන්න පුළුවන්. ආර්ථික ක්ෂේත්‍රයට අධ්‍යාපන ක්ෂේත්‍රයට වෙන වෙන සංකල්ප තිබිය හැකියි. එහෙත් පරිසරය සම්බන්ධව තිබෙන්න පුළුවන් එකම එක සංකල්පයක් පමණයි. පරිසරය සුරක්ෂිත කර මීළඟ පරම්පරාවට භාර දීම වැඩිහිටි අපගේ වගකීමයි. මෙය ක්‍රියාත්මක කිරීමට පුරවැසියා අප සමග සිටිනවා. ඒ නිසා අපේ පරිසර පද්ධතිය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමට අවස්ථාවක් තිබෙනවා.
පරිසරය පිළිබඳ ප්‍රශ්නයේදී සිංහල, දෙමළ, මුස්ලිම් සැම කෙනාටම එක තැනකට පැමිණිය හැකියි. ජාතික ප්‍රශ්නය කවරක් වුණත් පරිසර ප්‍රශ්නයේදී එකට සිටිය හැකියි. පරිසරය පිළිබඳ ක්ෂේත්‍රය තුළින් ජාතික ඒකාග්‍රතාව ඇති කළ හැකියි. පොදු ජාතික විඤ්ඤාණයකින් යුතුව ජාතික පරිසරය ගොඩනැගීමට අපට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ නිසා තමයි අප කියන්නේ දලුලන්න ඉඩ දෙන්න කියා.
අපි මේ පසට යළි ජීවය ගෙනැවිත් දිය යුතුව තිබෙනවා. වියළුණු පසක්, ජල පද්ධතිය පතුලටම හිඳුණ පසක්, අපි හැල්මේ දුවලා, කොන්ක්‍රීට් ප්ලාස්ටික් වේගය මත විනාශයට පත් කරන රාජ්‍යයක් යළි ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා අප හැම දෙනාටම වගකීමක් ඇති බව මා විශ්වාස කරනවා.
එහිදී අපි ලෝක ජාතීන්ට පවසන්නේ මෙයයි. අප ප්‍රමාණයෙන් කුඩා දූපතක් විය හැකියි. එහෙත් අද අපට හෘද සාක්ෂියේ දැවැන්තයකු ලෙස නැඟී සිටිය හැකියි. අපේ රට අප එකට එක් ව යළි ඉතාමත් හොඳ පරිසර පද්ධතියකට හිමිකම් කියන රාජ්‍යයක් බවට පත් කළ හැකියි. එදාට ලෝකය ශ්‍රී ලංකාව දෙස බලා මෙසේ පවසනු ඇති.
මෙන්න පස ආත්මයක් බවට පත් කර ගත් ජාතියක්. මෙන්න මිහිතලය සමඟ ප්‍රතිවිරෝධී නොවෙයි මිහිතලය සමඟ සාමය ඇති කර ගත් ජාතියක්. අද අපි ඉන්නේ මිහිතලය සමඟ ගැටුමක. මිහිතලය සමඟ සාමය ඇති කර ගත යුතු ජාතියක් ගොඩනැඟීම අපගේ සිහිනය බවට පත් කර ගනිමු. ඒ වෙනුවෙන් අප සැම එක් වෙමු.