සමහර කවයන් ඉතිහාසය අමතක කරමින් අප සමග එක්වීමට සූදානම් – ජනාධිපති අනුර

සමහර කවයන් ඉතිහාසය අමතක කරමින් අප සමග එක්වීමට සූදානම් නමුත් ඉතිහාසය අමතක කර අලුත් පරිච්ඡේදයක් ලිවිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණු නායක, ජනාධිපති අනුර කුමාර දිසානායක පක්ෂයේ 60 වැනි සංවත්සරයට එක්වෙමින් පැවසුවේය.

ඉතිහාසය අමතක කර අලුත් පරිච්ඡේදයක්, අලුත් අනාගතයක් ලිවිය නොහැකි බවද ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පැවසුවේය.

ජනතා විමුක්ති පෙරමුණු 60 වැනි සංවත්සරයේදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසුවේය.

පළමුකොටම ඇයි මේ අපි ඉතිහාසය මතක් කරන්නේ? පැරණි ඉතිහාසය අපි ආණ්ඩු බලය අත්පත් කරගෙන තියෙනවා. ඒක යට ගිය ඉතිහාසයක්, වර්තමානයට ඇයි අපිට ඕන වෙන්නේ.ඇයි? සමහර විට තැන තැන මුමුණන්නත් ඉඩ තියෙනවා, සහෝදරයා ඕක ගැන මේ වෙලාවේ වැඩිය කතා කරන්න එපා කියලාත්. මම දන්නවා, බොහෝ අය අපේක්ෂා කරනවා, බලාපොරොත්තු වෙනවා ඒ ඉතිහාසය, ඉතිහාසයට උරුම කරලා වර්තමානය අලුත් පරිච්ඡේදයකින් ආරම්භ කරන්න පුළුවන් වේවි කියලා. ඒ නිසා මම දන්නවා සමහර කවයන් ඒ ඉතිහාසය අමතක කරමින් අපිත් එක්ක එන්න ලෑස්තියි. මතක තබාගන්න. එහෙත් අපට එහෙම ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් අලුත් අනාගතයක් නිර්මාණය කරන්න හැකියාවක් නොවෙන බව අපි විශ්වාස කරනවා.