අද ලංකාවේ ලොකුම වැට් බදු වංචාව සිදු කරන ආයතනය ‘ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවයි’. රූපවාහිනි සංස්ථාව නො ගෙවූ වැට් බද්ද සහ ඒ මත පැනවූ අධිභාරය රුපියල් මිලියන 1,500 කට වැඩියි. රූපවාහිනියේ මාසික ආදායම රු. මිලියන 130 නම්, මාසිකව රු. මිලියන 23 ක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් රූපවාහිනිය වංචා කරයි. අවසනාවකට, ජනමාධ්‍ය ඇමතිවරයාත්, ජනමාධ්‍ය ආමත්‍යාංශයේ ගණන් දීමේ නිලධාරියා විදිහට ලේකම්වරයාත් කරන්නේ වැට් බදු වංචාවට, අල්ලස් ලබා ගැනීමට පහසුකම් සපයන්නන් ලෙස කටයුතු කරති. ලංකාවේ පාර්ලිමේන්තුව, කෝප් කමිටුව, රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කටයුතු කරන ආයතන සියල්ල ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මේ වංචාව ගැන නෑසු කන්ව සිටී.
ජනමාධ්‍ය අමාත්‍යාංශය අද මුහුණ දී ජාතික වැදගත්කමකින් යුතු අභියෝගය 18 කි.
- ප්රවෘත්ති හා ගුවන්විදුලි අමාත්‍යාංශය ලෙස ආරම්භ වූ මේ අමාත්‍යාංශය, පුද්ගලික ගුවන්විදුලි සහ රූපවාහිනී විකාශන ආරම්භවීමෙන් පසුව ‘ජනමාධ්‍ය අමාත්‍යාංශය’ බවට පත්විය. අවාසනාවකට අද දක්වාම ‘ජනමාධ්‍ය අමාත්‍යාංශයට’ නිවැරදිව තමන්ගේ භුමිකාව ස්ථානගත කර ගන්නට හැකිවී නැත. ‘ප්රවෘත්ති නිෂ්පාදනය හා බෙදාහැරීම’ තවදුරටත් ‘ජනමාධ්‍ය ආමාත්‍යාංශයේ කාර්ය භාරය නොවේ. නමුත්, අද ජනමාධ්‍ය අමාත්‍යාංශය පවතින්නේ, මෙරට පළමු ජනමාධ්‍ය අමාත්‍යවරයා වූ ධර්මසිරි සේනානායක මැතිතුමා 1994 සිටි ආරම්භක පියවරේම ය.
- ජනාමාධ්‍ය අමාත්‍යාංශයට ලේක් හවුස්, ජාතික රූපවාහිනිය, ගුවන්විදුලිය පවත්වාගෙන යයි. ආර්.ප්‍රේමදාස මැතිතුමා පුද්ගලික විද්‍යුත් මාධ්‍ය ඇරඹීමෙන් පසුව අමාත්‍යාංශයට ‘නියාමන වගකීම’ ද පැවරුණි. වත්මන් ජනමාධ්‍ය අමාත්‍යාංශය, එකවර විවාහයක දී විටෙක මනමාලයා ලෙස ද, විටෙක මනමාලිය ලෙස ද පෙනී සිටින භුමිකාවක් සිදු කරයි. නියාමනයත් කරයි. මාධ්‍ය ආයතනයත් පවත්වාගෙන යයි. මාධ්‍ය ආයතන පවත්වාගෙන යන අතර නියාමනය කිරීම වැරදි බව දැන දැනම, එයම සිදු කරමින් සිටී. 1993 විකාශන අධිකාරි පනතේ සිට අද දක්වාම මේ අවුල විසඳාගත නොහැකිවී ඇත.
- අද ලංකාවට විදේශ ජනමාධ්‍ය, වෙබ් අඩවි, දේශීය වෙබ් අඩවි, විදේශයන් හි සිට ක්‍රියාත්මක ශ්‍රී ලාංකිකයින් මෙහෙයවන සමාජ මාධ්‍ය සමඟ කටයුතු කිරීමට සිදුව ඇත. අවසනාවකට ජනමාධ්‍ය විෂය පුළුල් වූ නමුත්, ජනමාධ්‍ය අමාත්‍යාංශය තවමත් පවතින්නේ ඒ.ජේ.රණසිංහ යුගයේ පැවති ‘ගල් යුගයේ’ ම ය. ඉද හිට ‘සෙරෙප්පු සුප්’ කතා හැදෙන්නේ ද ඒ නිසාමය. යුගයෙන් යුගය ජනමාධ්‍ය අන්තර්ගතය වෙනස් වී ඇත. ප්රවෘත්ති වලට අමතරව, විනෝදාස්වාදය සැපයීම, ඇතුළු බොහෝ අංශ මේ කේෂ්ත්‍රයට ඇතුලත් වී ඇත. මේ සියල්ල නියාමයන අමාත්‍යාංශය අතහැර දමා ඇති වගකීමකි.
- ප්රවෘත්ති දෙපාර්තමේන්තුව – මුල් යුගයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ වගකීම රජයේ ප්රවෘත්ති බෙදාහැරීමයි. අද එය ආණ්ඩුවේ, ආණ්ඩු පක්ෂයේ ප්රචාරක යාන්ත්‍රණයේ කොටසක් බවට පත්වී ඇත. 2015 න් පසුව ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නැවත ‘ආණ්ඩු පක්ෂයේ ප්රචාරක ව්‍යාපෘතියට’ කර ගසා ඇත්තේ පළමුවරටය.
- පුවත්පත් මණ්ඩලය – පුවත්පත් මණ්ඩල පනත වර්තමාන ලෝක ව්‍යවහාරයට නො ගැලපේ. ජනමාධ්‍ය නිදහස ගැන වැඩකරන සංවිධාන එය පිළිගන්නේ ද නැත. පනත සංශෝධනය කරන බවට වසර ගණනක් තිස්සේ ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ පොරොන්දු දී ඇත. එහෙත්, කිසිවක් වෙනස් වී නැත.
- පුවත්පත් පැමිණිලි කොමිසම ද, පුවත්පත් මණ්ඩලයට විකල්පයක් ලෙස කර්තෘ සංසදය විසින් ස්වයං නියාමන අධිකාරියක් ලෙස ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම පිහිටුවා ඇත. එය සමඟ සම්බන්ධීකරණය කිරීමට ජනමාධ්‍ය අමාත්‍යංශයට වැඩපිළිවෙළක් නැත. අවම වශයෙන් ලේක් හවුස් ආයතනය ‘පුවත්පත් පැමිණිලි කොමිසමට’ එන්නේ ද නැත. ට්‍රැම්ප් ගේ අරමුදල් කැපීම නිසා දෝ, දැන් ‘ෆැක්ට් චෙකර්ලා’ (Fact check) ද නැත.
- විද්‍යුත් මාධ්‍ය – අද විද්‍යුත් මාධ්‍ය පාලනය වන නීතියක් නැත. විකාශන අධිකාරි පනත ඉදිරි පත් කර වසර 33 ක ට පසුව ද, විද්‍යුත් මාධ්‍ය නියාමන යාන්ත්‍රණයක් තබා ‘නීතියක්’ හදා ගන්නට පාර්ලිමේන්තුව අසමත්වී ඇත. විද්‍යුත් මාධ්‍ය ආයතන සඳහා බලපත්‍ර නිකුත් කරන්නේ ‘ජනමාධ්‍ය අමාත්‍යාංශය’ යි. ගුවන්විදුලිය, රූපවාහිනිය, අයිටීඑන්, ලේක් හවුස් පවත්වාගෙන යන්නේ ද, අමාත්‍යාංශයයි. එකම ඇමති/ලේකම් අ) බලපත්‍ර දීම (ආ) නියාමයන (ඇ) මාධ්‍ය අයතනය පවත්වාගෙන යාම කිසිදු සංවරණ හා තුලන ක්‍රියාවලියකට යටත් නැත. විද්‍යත් මාධ්‍ය නියාමන යාන්ත්‍රණයක් බිහිකිරීමට පාර්ලිමේන්තුව වහා නීති සම්පාදනය කළ යුතුය.
- මෙරට ජනමාධ්‍ය හා දේශපාලනඥයින් අතර සෘජු සබඳතාවක් ඇත. ආණ්ඩුව මොන ලැයිස්තු දැම්මත් ජනමාධ්‍ය හිමිකාරීත්වයේ ලැයිස්තුව එළියට දාන්නේ නැත්තේ ‘වී එෆ්.එම්.’ බලපත්‍රය නිසාය.
- වර්තමානයේ ජනප්‍රියම ඩිජිටල් මාධ්‍යයයි. ඩිජිටල් මාධ්‍යයට අවශ්‍ය පහසුකම් සැලසීම, නියාමනය ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශය තවම සිතා බලා හෝ නැත. ඩිජිටල් මාධ්‍යයේ නිතර පිරිසට වෘත්තීය ආරක්ෂාවක් නැත. ප්‍රමිතියක් නැත. සුබසාධයක් ද නැත.
- ජාතික රූපවාහිනිය – අද ජාතික රූපවාහිනියට දැන්වීම් ආදායම හෝ නැත. වෙළඳ දැන්වීම්වලින් මසකට ලැබෙන රු. ලක්ෂ 130 ක් පමණ මුදල, ද එයට අදාළ වැට් මුදල ද, (බදු ගෙවීම පැහැර හරිමින්) සේවකයින්ට පඩි සහ නඩත්තු ගෙවීම් සිදු කරයි. රුපියල් ලක්ෂ දෙකක වංචා චෝදනාවකට හිටපු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා රහස් පොලීසියට ගෙන යන යාන්ත්‍රණය මසකට රු. ලක්ෂ 23 ක වැට් බදු වංචා කරන රූපවාහිනි සභාපති හා අධ්යක්ෂ මණ්ඩලය, එයට අනුබල දෙන ඇමති, ලේකම් හා සිය වගකීම් ඉටු නොකරන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නේ නැත.
- සංවර්ධන ලොතරැයිය දිනුම් ඇදීම දිනපතා සිදුවෙයි. එය සැබෑ ලෙසම දිනුම් අදින බව මහජනයාට පෙන්වා විශ්වසනීයත්වය දිනා ගැනීම පිණිස එය රූපවාහිනියේ රාත්‍රී 9.00 ට ද, එම වැඩසටහන දෙමළ බසින් නේත්‍රා නාලිකාවේ ද විකාශය කෙරෙයි. ඒ සඳහා මසකට රුපියල් මිලියන හැටක් පමණ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ජාතික රූපවාහිනියට ගෙවයි. මෙය මෙරට ජනප්‍රියම රූපවාහිනි නාලිකාවේ ගුවන් කාල වටිනාකම මෙන් තුන් ගුණයකි. ආණ්ඩුවට ප්‍රචාරය ලබාදීමට මුදල් අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ලබා දෙන අල්ලසක් නැත්තම් කප්පමකි.
- ගුවන් විදුලි සංස්ථාව – පසුගිය රජය සමයේ වන්දි ක්‍රමයක් යටතේ රූපවාහිනී හා ගුවන්විදුලි සේවකයින් විශ්‍රාම ගන්වනු ලැබීය. ගුවන් විදුලිය බිඳ වැටෙන්නේ ආදායමට වඩා වියදම වැඩිවීම නිසාය. රජරට සේවය, මහනුවර (කඳුරට) සේවය සහ රුහුණු සේවය වැනි ප්‍රාදේශීය ගුවන්විදුලි සේවා ආරම්භ කරන ලද්දේ ජේ.ආර්. ජයවර්ධන ගේ පැවැති එජාප ආණ්ඩුව විසිනි. ඒ කාලයේ රේඩියෝව රජයේ එ්කාධිකාරයකි. 1990 පමණ වන විට කෙටි තරංග සහ මධ්‍යම තරංග මත පදනම් වූ විකාශය වෙනුවට සරල සහ වියදම අඩු FM විකාශ ආරම්භ වීමත්, පෞද්ගලික සමාගම් විසින් විකාශන බලපත්‍ර ලබාගැනීමය. ගුවන්විදුලි සංස්ථාව යල් පැන ගොස් එය පැවතීමේ හේතුව (rationale එක) අහෝසි විය. සභාපති හා අධ්යක්ෂ මණ්ඩලයට භාණ්ඩාගාරයෙන් මුදල් නොලැබෙන්නේ නම්, වියදම් පාලනයට ස්වාධීන තීරණ ගැනීමේ අවස්ථාව හිමිවිය යුතුය. අනවශ්‍ය කෑලි ගලවා නිදහස් වීමට අවස්ථාව තිබිය යුතුය. මේ වන විට ප්‍රාදේශීය සේවා නඩත්තු කිරීම විශාල වැය බරක් බවට පත්වී ඇත.
- රජයේ විද්‍යුත් මාධ්‍ය ආයතන තුනම ‘ඇනලොග්’ තාක්ෂණයෙන් ක්‍රියාත්මකය. රට පුරා ඔවුන්ගේ විකාශනාගාර අති විශාල මුදලක් වැයකරමින් පවත්වාගෙන යති. ඒවා නවීකරණය කරන්නට උපකරණ පවා දැන් නැත. 2013 දී ඩිජිටල්කරණය ගැන මුල්ම අදහස ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙතින් ඉදිරිපත් විය. එතැන් පටන් වසර 12 ක් සෑම අයවැයකමට ඩිජිටල්කරණය ගැන කතා කර ඇති නමුත්, එය යථාර්ථයක් වූවේ නැත. ආණ්ඩුව තවමත් මේ ආයතන නූතන ලෝකයට අනුව හැඩගස්වන්නට මුදල් වෙන්කර නැත. සැලසුමක් ද නැත. චීන සංචාරයේ දී ජනමාධ්‍ය ආයතනය ගැන අත්සන් කළ ගිවිසුම් ගැන කිසිදු තොරතුරක් රටට හෙළි කර ද නැත. ආණ්ඩුව චීනය සමඟ ගුවන්විදුලිය හා රූපවාහිනිය නවීකරණය කරනවා ද? නැතිනම්, විකුණා දමනවාදැයි? කිසිවෙකු දන්නේ ද නැත.
- මෑත කාලයේ කිසිදු රජයක් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් රැක බලාගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළේ නැත. හැමදාම ඔවුහූ රැවටීමට ලක්ව ඇත. ඔවුන්ට ජීවත්වීමට ආදායමක් නොලැබෙන බව ද අප අමතක නොකළ යුතුය.
- චිත්‍රපට සංස්ථාවේ වැටුප් ගෙවීමට විශාල මුදලක් වෙන්වී ඇත. අද චිත්‍රපට සංස්ථාවේ භුමිකාව කුමක් ද? චිත්‍රපට ටිකක් බෙදා හැරීමට මේ සා විශාල පිරිවැයක් අවශ්‍ය වන්නේ ඇයි? චිත්‍රපට බොදාහැරීමට ‘කොමිසමක්’ පත් කිරීමට කලකට පෙර යෝජනා වූ නමුත් මේ දක්වා එය යථාර්ථයක් බවට පත් වී නැත. ජාතික අවශ්‍යථාව චිත්‍රපට බෙදාහැරීම නම්, මෙවැනි මානව හා භෞතික සම්පත් විනාශයක් එයට සිදු කළ යුතු නැත.
- රජය සතු ව්‍යාපාර (SOE) ලෙස ස්වාධීන, ජාතික , ගුවන්විදුලි සංස්ථාව තවදුරටත් පවත්වාගෙන යාම ආණ්ඩුවේ ප්‍රතිප්තිය නම්, එහි අධ්යක්ෂ මණ්ඩලයට පූර්ණ වශයෙන් ස්වාධීන තීරණ ගැනීමට ඉඩකඩ සැලසීම රජයේ වගකීමකි. එක එක යුගවල ඇරඹි ලක්හඬ, වසන්තම්, ස්වාධීන රූපවාහිනී ගොඩනැගිල්ලේ ගාල් කර තිබීමෙන් ලැබෙන ප්‍රතිලාභය ගැන නැවත සිතා බැලිය යුතුය.
- ස්වාධීන රූපවාහිනියේ ටෙලි නාට්‍ය රැල්ල නිසා 2024 වසරේ දී එම ආයතනය ලාභ ලැබීය. දැන් නැවත එහි අදුරු යුගය ඇරඹී ඇත. ටෙලිනාට්‍ය තේරීම සිදු කරන්නේ වෘත්තීය සමිති සහ ටෙලිනාට්‍ය නිෂ්පාදකයින්ගේ සංගමය විසිනි.
- ලංකා පුවත් ආයතනය, මාධ්‍ය පුහුණු ආයතනය අද ජනතා බදු මුදල් ගිලින බෝඩ් ලෑලි දෙකකි.
එදා, විජේතුංග කැබිනට් මණ්ඩලයේ (ඇමති ටිරෝන් ප්‍රනාන්දු) මේ අමාත්‍යාංශය හැඳින්වූවේ ‘තොරතුරු අමාත්‍යාංශය (Ministry of Information)’ ලෙසිනි. සතියකට ලිස්ට් දෙක තුනක් අතාරින මේ අමාත්‍යාංශයට අද ගැලපෙනම නම ‘ලිස්ට් අමාත්‍යාංශය’ ය යි.
රජිත් කිර්ති තෙන්නකෝන්