ප්‍රේමදාසට කුණුහරුප කියලා අනුර මැතිනියගෙන් කනේ පාරක් කාපු හැටි

ලංකා පාර්ලිමේන්තුව සිංහලෙන්, ඉංග්‍රීසියෙන් කියූ කුණුහරුපයෙන් පිරී ඇත. අතීතයේ ඉහළ රසස්වාදයක් තිබූ පිරිසක් අතින් කියවුණු කුරුහරුපයට වඩා, වර්තමානයේ අතිශයින් ග්‍රාම්‍ය වචන ඇසේ. ‘කුණුහරුප’ පාර්ලිමේන්තුවට අපකීර්තියක් ඇති කලා පමණක් නොව, විටෙක රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්න ද ඇති කළේය. මේ එදා මෙදා ලංකා පාර්ලිමේන්තුවේ කුණුහරුප පුරාණය යි.

කුණුහරුප යොදාගන්නා ආකාරය දේශපාලන පක්ෂ නායකයින්ගේ, අගමැති, විපක්ෂ නායක ගේ රසාස්වාදනය, ශිෂ්ඨත්වය, භාෂා ඥානය, සමාජ මට්ටම අනුව වෙනස්වේ. සිංහල භාෂාවෙන් වැඩියෙන්ම අසභ්‍ය හෝ ශිෂ්ඨ නොවන වචන කියූ පුද්ගලයින් අතර අනුර බණ්ඩාරනායක, ආර්.ප්‍රේමදාස, වාසුදේව නානයක්කාර, එස්.බී. දිසානායක, සිරිල් මැතිව්, මංගල සමරවීර, ඊරියගොල්ල, තිස්සකුට්ටිආරච්චි, සුසිල් ප්‍රේමජයන්ත කැපී පෙනෙති. ඉංග්‍රීසියෙන් මේවා ට කියන්නේ ‘අන්පාර්ලිමෙන්ටර් වර්ඩ්ස්’ හෙවත් පාර්ලිමේන්තුවට උචිත නොවන වදන් කියාය.

2021 දෙසැම්බර් 3 දා, මනූෂ නානායක්කාර ට ආණ්ඩු පක්ෂයේ සංවිධානය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ලොහාන් රත්වත්ත ඇතුළු පිරිසක් අමු තිත්ත කුණුහරුපයෙන් බැන්නෝය. ඒ සියල්ල හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කර ඇත.

සිරිමා බණ්ඩාරනායක දේශපාලන ආගමනය

සිරිමාවෝ මැතිනිය අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසුව, (1960 ජූලි ආසන්න දිනක) කුලියාපිටියට ආසන්න ස්ථානයක පැවති අමාත්‍ය ඊරියගොල්ල ඇයට ගැන, (බණ්ඩාරනායක මැතිතුමා මිය ගොස් ඇති නමුත්) ‘මේ ගෑණිට පාර්ලිමේන්තුවේ බබ්බු හම්බවෙයි‘ හෝ ‘මෙයාට ළමයෙක් හම්බවෙන්න ඉන්නේ’ යන අදහස දෙන කතාවක් කීවාය. ඒ රැළියේම ආර්.ප්‍රේමදාස පැවසූවේ, සිරිමා පාර්ලිමේන්තු පැමිණි විට ‘මාසයකට සැරයක් පාර්ලිමේන්තුවේ පුටුව සෝදන්නට වෙයි’ කියා ය.

එ.ජා.ප. නායක ඩඩ්ලි මේ කුණුහරුප කීමට කැමති වූවේ නැත. ඔහු ඊරියගොල්ලට හා ප්‍රේමදාසට නියෝග කළේ තමන් රැස්වීමට එන්නට පෙර හෝ කතා පවත්වා පිටව ගිය පසුව ‘ඕනෑ කුණුහරුපයක් කියා ගන්නා’ ලෙසය. ඩඩ්ලි එයින් පසු තමන් වේදිකාවේ සිටින විට කුණුහරුප කියන්නට දුන්නේ නැත. පාර්ලිමේන්තුවේ දී ද තම මන්ත්‍රීවරුන් පාලනය කළේය.

කතානායක ශ්‍රීමත් මොලමුරේ සහ මියුරියෙල් අසරප්පා ගේ අනියම් සම්බන්ධතාව ගැන කවි 14 ක කැලෑපත්තරයක් නිකුත් විය. එහි එක කවියක් පාර්ලිම්න්තුවේ කියන්නට මන්ත්‍රීවරයෙකු උත්සහ දරා ඇත. ඒ කවිය,

කවුන්සිලේ වැජඹෙන ධනපති රොත්ත

කම්කරු ගොවින් මිරිකා මොළ කන හැත්ත

දැන් දැන් දිග ඇරෙයි කොයි කාගෙත් ඇත්ත

මොලමුරේ මැතිඳු ලේව්වලු ලීලගේ හු. |.ත් | . ත

ඔය කවියේ අවසන් වචනයට වූ ස්ත්‍රී ලිංගයට කියන සමාන පදය එජාප රැළි, රැස්වීම්වල නිතර ඇසුණි. ‘හැත්තෑ හතේ හු #ත් – ති නැතේ’ 1977 එජාප මැයි රැළියේ ජනප්‍රිය ම සටන් පාඨය යි.

‘සිරිමා සව්දන හෙවත් සිරිමාගේ හා ඇල්ලිස් හාමුගේ විස්තරය’, විමලා විජයවර්ධනට එරෙහි කැලෑ පත්තර යේ කෑලි පාර්ලිමේන්තුවේ කියවා ඇත. එය පට්ට කුණුහරුපයකි.

වාසුදේව ගේ සන්නාම සටහන

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර 2015 මැයි 21 පාර්ලිමේන්තුවේ දී අගමැති රනිල් වික්‍රමසිංහට ‘ප |ක |යා‘ කිවේය. රනිල් එය ගණන් නොගෙන ‘‘ඔබේ රැවුල කපාගන්න. එතකොට මොළේ පෑදෙයි’’. යැයි කීවේය. වාසුදේව ගේ කතාව ලංකාදීප මේ වාර්තා කළේය.

කතානායකතුමා මට අවසර දුන්නාම මේ මිහිහා කෙළගෙන කෙළගෙන යනවා. මේ පිස්සව වාඩි කරන්න. මේ පිස්සව වාඩි කරන්න. මාව වාඩි කරන්න? උඹට පුළුවන්ද මාව වාඩි කරන්න‘ …………….. (ප %ක% යා)? මාව වාඩි කරන්න බෑ. (ප%ක@යා).. පිස්සු කෙළින්න එපා ඕයි. මේ පාර්ලිමේන්තුවට ගරු කරනවා.

කතානායක (චමල් රාජපක්ෂ) ‘ගැලරියේ පාසල් ළමයින් ඉන්නවා. මේක පුරුද්දකට ගනියි. කියාය. කෙසේ නමුත්, ප / ක/ යා කතාව සාධාරණීකරණය කළේ එය දකුණේ උප භාෂා ව්‍යවහාරයක් බව කියමිනි.

වාසුදේව ගේ ‘ප@ක%යා විඩියෝව‘ මෙතැනනින් නරඹන්න.

ප්‍රේමදාස – අනුර හටන

ලංකා පාර්ලිමේන්තුවේ එක දිගට ඇදුණු අසභ්‍ය, අශිෂ්ඨ සංවාද මාලාවේ හිමිකරුවන් වන්නේ අගමැති ආර්.ප්‍රේමදාස සහ මන්ත්‍රී/විපක්ෂ නායක අනුර බණ්ඩාරනායක ය. 1977 මහා මැතිවරණ ව්‍යාපාරයේ දී අනුර විසින් ප්‍රේමදාස හැදින්වූවේ, ‘කෙහෙල්වත්තේ ලැවරිය විකුනපු අම්මගේ පුතා’ කියා ය. ප්‍රේමදාස 77 ආණ්ඩුබලය ලබා සිය පළමු පාර්ලිමේන්තු කතාවේ දී ම එය පිළිතුරු දුන්නේ ‘වලව්වක අවජාතක පුතෙක් වෙලා ඉපදුනාට වඩා පැල්පතක සහජාතක පුතෙක් වුනු එක ගැන ආඩම්බරයි’ කියන අර්ථයෙන්.

අනුර බණ්ඩාරනායක මස්කෙළිය ආසනයේ සංවිධායක විදිහට පත් කිරීමේ පුවත කොමියුනිස්ට් ‘ඇත්ත’ පළ කළේ ‘අනුර මස් කෙළියට මරු’ කියා ය. එය නැවත කියවන්න. එජාප ප්‍රචාරක යාන්ත්‍රණය අනුර සල්ලාලයෙකු – සම ලිංගිකයෙකු ලෙස හැදින්වූ යුගයේ ‘අනුර මස් කෙළියට මරු’ කියන කතාවේ ඇත්තේ පට්ට කුණුහරුපයකි. අනුරට ‘පට්ටිගොනා’ යැයි කීවේ දේශපාලන වේදිකාවේ දී පමණක් නොවේ. සිරිල් මැතිව් මෙවැනි කතා කියූ අය අතර ප්‍රමුඛයෙකි.

අනුර – ප්‍රේමදාස ගැටුම දිගින් දිගටම ඇදුණි. ඒ ගැන 2021 ඔක්තෝබර් මස 12 දින පැවති සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ ගුණ සමරු උත්සයේ දී හිටපු මන්ත්‍රී ඩ්ව් ගුණසේකර මේ ගැටුම මෙසේ දැක්වීය.

“සිරිමාවෝ මැතිනිය විපක්‍ෂනායක ලෙස සිටියදී අගමැති ප්‍රේමදාස මහතා සහ

අනුර බණ්ඩාරනායක මහතා අතර පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුමක් දුර ගියා. අනුර ඒ අවස්ථාවේ අගමැතිවරයාට අසභ්‍ය ආකාරයෙන් කතා කළා. මැතිනිය රූපවාහිනී තිරයෙන් එය බලා සිට අනුරට එන්න කියන්නැයි වේත්‍රධාරීවරයාට පැවසුවා. අනුර බණ්ඩාරනායක මහතා ආ සැණින් ඇය ඔහුගේ කම්මුලට පාරක් ගසා ‘අගමැතිට කතා කරන්නේ එහෙමද?’ කියා ඇහුවා. එය අම්මා කෙනෙක් වගේම දේශපාලන නායිකාවක් ලෙස කියාදුන් පාඩමක්. ඊට පසු අනුර අගමැති ප්‍රේමදාස මොනවා කීවත් සිනා මුහුණින් ඒවාට සවන් දුන්නා.” එදා අගමැතිවරු – විපක්ෂනායකවරු හැසිරුනේ එසේය.

ඩිව් ගුණසේකර එසේ පැවසුවත් අනුර – ප්‍රේමදාස ගැටුම දිගින් දිගටම තිබුණා. ලංකාවේ පාර්ලිමේන්තුවේ බිහි වූ විශිෂ්ඨම විපක්ෂ නායකවරයෙකු බවට අනුර බණ්ඩාරනායක පත්වන්නේ ය. අනුර බොහෝ විට දෙපැත්ත කැපෙන කතා කිව්වේ ඔක්ෆර්ඩ්/කේම්බ්‍රිජ් ඉංග්‍රීසියෙනි. ඒ දවස්වල අනුර බණ්ඩාරනායක පාර්ලිමේන්තුවේ කතා කරන්න දවසට තමන්ට සිටින හොඳම ඉංග්‍රීසි භාෂා පරිවර්ථකයා රාජකාරියට කැඳවන්නේය. අනුරගේ කතාව වාර්තා නොකරන ඉංග්‍රීසි පත්තරයක් නැත. මොන පොතෙන් කුමක් උපුටා දක්වයිද? එය කෙසේ පරිවර්ථනය කරන්නේ ද? යන්න පත්තරකාරයින්ට තිබු ප්‍රශ්නයයි. අනුර පාර්ලිමේන්තුවේ ඉංග්‍රීසියෙන් කියූ අවකැපෙන කතා වියතුන්ට මිස සාමාන්‍ය මිනිසුන්ට තේරුණේ ද නැති බව ඩේලි නිවුස් කර්තෘ අජිත් සමරනායක ද වරක් පැවසීය.

ගාමිණී ගුණසේකර, 2021 මාර්තු 7 ‘ද අයිලන්ඩ්‘ පුවත්පතට අනුර කතාකරන විට ප්‍රේමදාස පාර්ලිමේන්තුවෙන් නැගිට යන පුරුද්දක් පසු කළෙක ඇති වූ බව ලියා ඇත. (Anura led his attack to the great discomfiture of the UNP leadership. Mr Premadasa dominated Parliament through his oratory. But Anura’s verbal attacks were so sharp and reasoned that Premadasa used to leave the chamber when Anura rose to his feet.)

ඇත්තටම, අද පාර්ලිමේන්තුවේ සිදු වන ප්‍රහාරයන් බහුතරයක් සිදුවන්නේ පක්ෂ නායකයින්ගේ අවශ්‍යතාවට ඔවුන්ගේ දිරිගැන්වීම යටතේ ය. මහින්ද රාජපක්ෂ සිටි වේදිකාවේ ආචාර්ය මර්වින් සිල්වා බොහෝ දෙනාට කුණුහරුප කියා ඇත. 1994 ජනාධිපතිවරණයේ අනුර බණ්ඩාරනායක මුලසුන දැරූ වේදිකාවේ දී මර්වින් සිල්වා චන්ද්‍රිකා ගේ දරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ පියා තමන් බව නොකියා කීවේය.

ප්‍රේමදාස – අනුර ප්‍රකට අව කතා අතර, පාර්ලිමේන්තුවේ දී අගමැති ප්‍රේමදාස ලබාදුන් පිළිතුරක් සම්බන්ධයෙන් අනුර බණ්ඩාරනායක වරක් ‘I’m not satisfy with your answer’ යැයි පවසනු ලැබූ සිද්ධිය සුවිශේෂ වන්නේය.

එයට ප්‍රේමදාස ගේ පිළිතුර වූවේ ‘No one can satisfy you!’ යන්න ය.

මොහොතකින් අනුර ගේ මුවින් පිටවූවේ ‘Only your wife can satisfy me!’

තමන්ගේ මුවින් නුසුදුසු දෙයක් පිටවූ බව අවබෝධ කොට ගත් අනුර, වහා පාර්ලිමේන්තුවෙන් පිටවන විට Good one පුතා Good one යැයි කියමින් අනික් පස දොරටුවෙන් අනුර පිටුපස දුව ආවේ ප්‍රේමදාස මහතා සමඟ ඒ වන විට ගැටෙමින් සිටි ඊ.එල්.සේනානායක අමාත්‍යවරයාය. එදා කථානායක පුටුවේ සිටි බාකීර් මාකර් වහා එම කතාව හැන්සාඩ් එකෙන් ඉවත් කළා පමණක් නොව සෑම පුවත්පතකටම එය වාර්තා නොකරන ලෙස ද දැනුම් දෙනු ලැබීය. එදා ‘ජනදින’ පමණක් මේ සිද්ධිය වාර්තා කර තිබුණි.

සුසිල් ප්‍රේමජයන්ත හා රේණුකා හේරත්

කුණුහරුප හා ශික්ෂණය දැණුම පිළිබඳ ප්‍රකාශනයක්ද වන්නේය. 2009 ජනවාරි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, මන්ත්‍රීණී රේණුකා හේරත්ට පැවසූවේ ‘‘පාර්ලිමේන්තුවේදී වත් ප්‍රකාශ කළ නොහැකි අසභ්‍ය වචන සහිත කවි පන්තියක් පාසල් පෙල පොතකින් ඉවත් කළ බවයි.

ඇමතිවරයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ නොකළ කවිය, මෙයයි.

ගැබිණියකගේ තනපුඩුවක පැහැය උරා

පාවෙන වළාකුළු පවතී අහස පුරා

මිටියාවතේ මීදුම ගොඩ දෙපළු ඉරා

ඉගිලෙති කුරුළු හමුදාවෝ කැදලි කරා

‘ගැබිණියකගේ තනපුඩුවක පැහැය උරා’ යැයි පාර්ලිමේන්තුවේ කියන්නට අකමැති වූ, සුසිල් ප්‍රේමජයන්ත 2023 පෙබරවාරිි 24 දින රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියට ‘පට්#ට වේසි, ……. මල වේ#සි’ යැයි අමුතිත්ත කුණුහරුපයක් කීවේය. https://www.youtube.com/watch?v=BNJNE9qeq74

ගුරු ගැටළුවක දී මන්ත්‍රීවරියට උත්තර දී ගත නොහැකි වු අමාත්‍යවරයා කියූ කතාවට සජීවීව රටටම ඇසුණි.

මේ ප්‍රශ්නය පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද කමිටුව හමුවට යාමට පෙර සුසිල් ‘මේ සභාවේ පසුගිය දිනක ඇතිවූ සංවාදයකදී කළ ප්‍රකාශයකින් සමගි ජන බලවේගයේ රෝහිණි කුමාරි විජේරත්නගේ සිත් රිදීමක් සිදුවූයේ නම් තමා කනගාටුව පළ කරන බව’ කියා ප්‍රශ්නය බේරාගත්තේය.

https://www.youtube.com/watch?v=Klom1dLmSc8

මෙහි දී නැගී සිටි මන්ත්‍රීවරිය ‘උත්තරීතරයැයි කියනා මේ පාර්ලිමේන්තුවේ සභානායක, අධ්‍යාපන ඇමති කුණුහරුපාචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සිය ආචාර්ය උපාධියට නිබන්ධනය කර ඇත්තේ ස්ත්‍රී නිමිත්ත ගැන දැයි තමා දැනගන්නට කැමති බව’ විමසුවාය.

කතානායක තුමනි, මම ඔබතුමාගෙන් එක්ක අහනවා.

24 වැනිදා මේ උත්තරීතර යැයි කී සභාවේ සභානායක අධ්‍යාපන ඇමති, කුණුහරපාචාරය සුසිල් ප්‍රේමජයන්ත කියන මනුස්සයා කරපු කතාව ඔබතුමා කතානායවරයා ලෙසත්, අගමැතිවරයාත් ඔතන ඉඳන් ඒක පිළිගන්නව ද?

ඒක හැන්සාඩ් එකෙන් අයින් කරලා තියනව ද? එහෙම නැතිනම් අපි දන්නවා සෝරත හිමියන්ගේ සුමංගල ශබ්දකෝෂයේ තියනවා මේ වචනය. මේ වචනය මට කියන්න බෑ. එතෙන්ට මට වැටෙන්න බෑ. ඒක මේ පාර්ලිමේන්තුවේ පාවිච්චි කළාට කමක් නැද්ද? හෙට කාන්තා දිනය. ඔබතුමන්ලා ඔක්කොම කාන්තාවන් ගැන කතා කරන්න යනවා. ඒත් මේ පාර්ලිමේන්තුව ඇතුළෙ කාන්තාවක් කතා කරන්න යනකොට ඒ කාන්තාවගේ ස්ත්‍රී නිමිත්ත එළියට ඇදලා ඒකට මල ද මල් ද කියනවා.” (උපුටා ගැනීම අවසන්)

චන්ද්‍රිකාට ‘බැල්ලී‘ කීම

විජය කුමාරතුංගට සම්බන්ධ නැක්සලයිට් විවාදයේ දී (1982.10.28) ලංකා පාර්ලිමේන්තුව කුණුහරුප වරුසා වැස්සේය. එදා ප්‍රේමදාස කිව්වේ ‘චන්ද්‍රිකා කුමාරතුංග අත්තනගල්ලේදී ජනාධිපතිතුමාට කතා කළේ ‘බල්ලා’ කියලයි. ඒ කතාව අසාගෙන සිටි අය කියන්න ගත්තා ‘අනේ මේ පර බැල්ලී කියන්නේ මොනවද?’ කියා. ලංකාවේ ජනවරමින් පත්වූ ජනාධිපතිවරයාට චන්ද්‍රිකා කතා කළේ ‘බල්ලා’ කියලයි. ජනතාවගේ ඉවසීමේ සීමාව ඉක්ම ගියාය කිව්වොත් මම හිතනවා කිසි කෙනෙක් මා සමඟ විරුද්ධ වන්නේ නැහැ කියා. (පාර්ලිමේන්තු හැන්සාර්ඞ් වාර්තා 1051-1052)

රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් උතුරේ යුද්ධයක් ඇති කළ අශ්ලීල වදන් භාවිතය

1977 මැතිවරණ වේදිකාවේ ආර්. ප්‍රේමදාස සිදු කළ කතා ද, පාර්ලිමේන්තුවේ විවාද ද, ඉන්දු ලංකා රාජ්‍ය තන්ත්‍රික සබඳතා පළුදුවීම පිළිබඳ බලපෑ ආකාරය ජේ.එන්.ඩික්සිට් ගේ කොළඹ භුමිකාව (Assignment Colombo) කෘතියේ දැක්වේ. (කමෙන්ටුව බලන්න) ප්‍රේමදාස ඉන්දිරා ගාන්ධි සහ ඇගේ පුතා සංජය ගාන්ධි හැඳින්වූවේ ‘එළදෙනයි – වහුපැටියයි‘ ලෙසිනි. ‘එහෙත් එළදෙනයි – වහුපැටියයි පරාදයි. මෙහෙත් එළදෙනයි වහුපැටියයි පරාදයි’ කතාව සිරිමා – අනුර සම්බන්ධයෙනි.

මංගල සමරවීර

2017 දී මංගල සමරවීර සහ විමල් වීරවංශගේ බහුජන නිදහස් පෙරමුණ පාර්ලිමේන්තුවේ දී ඇවිලුනේ ‘තක්කඩියා’ යන වචනය නිසාය. එයට ප්‍රතිචාර ලෙස මංගලට ‘පොන්නයා’ යැයි අමතනු ලැබීය. සිය සමරිසි භාවය කිසිවිටෙක වසන් කිරීමට උත්සහ නොකළ මංගල පැවසූවේ ‘මිනීමරුවාට වඩා පොන්නයා ගෞරවනීයයි’! කියමිනි.

මංගල සමරවීර තම සමලිංගික ලැදියාව සැඟවූවේ නැත. වරක් කැලණියේ ආචාර්ය මර්වින් සිල්වා මන්ත්‍රී සමඟ පැටළුණු මංගල, කොළඹ අවන්හලක දී මර්වින් ගේ පුතා ද සවසට සවසට තමන්ට හමුවන බව කීවේය. මංගල තවත් වරක් මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් ගේ සමලිංගක කතාවකට ප්‍රතිචාර දැක්වූවේ ‘මට ඔබතුමා මීට අවුරුදු 25 – 30 කට පෙර හමුවුණා නම් සලකා බලන්න තිබුණා කියාය. මර්වින් සේම, අස්වර් ද කට වහගත්තේය.

අප්‍රිකානු කළු පිරිමි කතාව

සුසන්තිකා සම්බන්ධයෙන්, ක්‍රීඩා ඇමති එස්.බී.දිසානායකට විරුද්ධ විශ්වාස භංග යෝජනාවක දී මංගල සමරවීර ඇසුවේ ‘අප්‍රිකානු කළු පිරිමියෙක් වගේ ඉන්න සුසන්තිකා ජයසිංහට ලිංගික බලපෑම් කරන්නේ කවුද? ඔන්න මේ මම බලපෑම් කළා කිව්වා නම් පිළිගන්නවත් තිබුණා’ යන අදහස සහිත ගර්හිත ප්‍රකාශ සිදු කළේය.

2020 ඔක්තෝබර් ආසන්නයේ සමගි ජනබලවේගයේ උප සභාපතිනිය ලෙස සිටින අතර 20 වන ව්‍යවස්ථා සංශෝධනයට සහාය දුන් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ‘දේශපාලන ගණිකාවක්’ ලෙස සජබ නායකයන් විසින් හදුන්වා දෙනු ලැබීය. මන්ත්‍රී හර්ෂණ රාජපකාරුණා විසින් ඩයනා මස්කෑල්ලකට එහාට මෙහාට පණින ගණිකාවක් යැයි පවසූවේය.

2021 ජනවාරි මස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ආණ්ඩු පක්ෂයේ සංවිධානය ජොන්ස්ටන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ ගැටුණි. එහි දී ජොන්ස්ටන් විපක්ෂ නායකට ‘පිස්සා’ යැයි කියා එම වචනය ඉල්ලා අස්කර ගත්තේ ‘මම ඒ වචනය ඉල්ලා අස්කර ගන්නවා. හැබැයි, රනිල් (වික්‍රමසිංහ) කිව්වේ Bloody Fool කියලා යැයි කියමිනි. වාග් චාතුර්ය විසින් පාර්ලිමේන්තුව ජයගැනීම දක්ෂ කථිකයෙකුගේ ස්වරූපයයි.

තිස්සකුට්ටි වම්බටු

බදුල්ලේ තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරයා 2001 නොවැම්බර් අය වැය විවාදයේ දී රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියට කුණුහරුප කීවේය. ‘බටු, ගහල, පලා ගන්න’ කතාවට ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයා අතිරේක කාලය ලබාදුන්නේය. මුලසුනේ සිටියේ අජිත් රාජපක්ෂ ය. රාජපක්ෂ පවුලේ බලපෑම මත මහින්ද යාපා අබේවර්ධන කථානායකවරයා අවම වශයෙන් සිද්ධිය ‘වරප්‍රසාද කමිටුව’ වෙත යොමු කළේ ද නැත.

ලංකාව කාන්තා හිංසනයට ඉඩ ඇති රටක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46/1 යෝජනාවේ ද දැක්වේ. නමුත්, සිද්ධිය යුරෝපා සංගමයේ ජීඑස්පී සහනය, මානව හිමිකම් කොමිසමේ අතුරු කතාවලට ද විෂය වූවේය. ගෝඨාභයගේ වියත්මග ආණ්ඩුවේ ‘පාර්ලිමේන්තුව තුල අධ්‍යාත්මික වශයෙන් පිරිහීමේ ආරම්භය’ මේ සිද්ධියයි.

වම්බටු කතාවට රෝහිණි මන්ත්‍රීවරිය පිළිතුරු දුන්නේ පන්සිය පනස් ජාතකයේ කුක්කුර ජාතකයෙනි. ඔයා ‘අශ්ව කරත්තයේ ගෙරි පටිය (හරක් හමින් හදපු තෝං ලණුව) කාපු බල්ලට වගේ. අශුචි නැව ගිලපු එකාටත් කුක්කුර ජාතකේ බල්ලාට වගේ වමනේ දාන්න වෙනවා’ යැයි රෝහිණී විනාඩි 3 ක් කීවාය. https://www.youtube.com/watch?v=mVj-d_M-R6c

අශුචි නැව, නැනෝ පොහොර වංචාව නිසා රටේ එක පවුලකට රු. 8000 ක් බැගින් හොරකං කරන බව රෝහිණී කිවාය. අශුචි පොහොර නැව කතාව ජනගත වූයේ ඒ සිද්ධියෙනි.

තිස්සකුට්ටිගේ කතාව නැවත 2021 නොවැ 22 පාර්ලිමේන්තුවේ දී විවාදයට බදුන් විය. රෝහිණී දර්ශනය ද, සාහිත්‍යය ද, පාර්ලිමේන්තුව සම්ප්‍රදාය ද ගලපවා විනාඩි 12 ක් කතාවක් කළේය. ‘මම හොඳ ජාතකයක් තියෙනවා. මම තිස්සකුට්ටිගේ ජාතකය ගැන කියන්නේ නෑ. …………. යැයි ආරම්භ කර ඒ මොහොතේ මූලාසයේ සිටි මන්ත්‍රී අජිත් රාජපක්ෂ ගේ ක්‍රියාකලාපය විවේචනය කළේ ‘ඇස් පෙනෙන, කන් ඇහෙන කෙනෙක් ඔය පුටුවේ වාඩි විය යුතු බව’ කියමිනි. සාහිත්‍යමය භාෂාවකින් ‘සත්තිකුම්භ ජාතකයෙන් තිස්සකුට්ටි ගැන කියන්න වූ රෝහිණී, අශුචි නැවේ හොර නායකයින් ලඟ තිස්සකුට්ටිගේ දාසයෙක් බව පැවසීය.

මෑත භාගයේ තුන්වන කුණුහරුප කතාවට පැටලෙන්නේ ද, රෝහිණී කවිරත්න ම ය.

2023 නොවැම්බර් 8 අද ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමති අශෝක ප්‍රිියන්ත හා රෝහිණී කවිරත්න අතර වචන හුවමාරුවක් ඇතිවූයේ විශ්‍රාමිකයින්ගේ දීමනාව ගැන ඇතිවූ අතුරු ප්‍රශ්නයක දී ය. රෝහිණී 2016 විශ්‍රාමිකයින්ගේ ප්‍රශ්නය දත්ත ඉලක්කම් සහිතව ප්‍රශ්න කර අමාත්‍යවරයාට යන එන මං නැති කළාය. ඇමතිගේ ‘පිළිතුරට මම සතුටු නෑ. I’m unhappy with the answer’ යැයි රෝහිණී නැවත කරුණු දක්වන විට නැවත පැටළුණු ඇමති ‘‍එතුමිය සතුටු කරන්න මම දන්නේ නෑ. එයාව සතුටු කරන්න වෙන විදිහකට වෙන කවුරු හරි ඉන්නවා නම් ඒක කර ගන්න පුළුවන්’ යැයි තවත් කුණුහරුපයක් කියා දැම්මේය. https://www.youtube.com/watch?v=ranNsFYk-Uc සභාව එකම කාලගෝට්ටියක් විය. නියෝජ්‍ය කතානායකවරයා අතිශයින් පක්ෂග්‍රාහී ලෙස හැසිරෙන්නට විය. රාජ්‍ය පරිපාලන ඇමති දිනේෂ් ගුණවර්ධන අග්‍රමාත්‍යවරයා මැදිහත්වෙමින් ‘පාර්ලිමේන්තුවට නුසුදුසු වචන ඇත්තේ නම් ඉවත් කළ හැකිය’ යැයි පැවසීය.

ඊලඟ පාර්ලිමේන්තු දිනයේ දී රෝහිණී අගමැතිවරයා සමඟ මේ ගැන පැටළුණේය. ‘බොරළුගොඩ සිංහයාගේ පුුත්‍රයා — බොරළුගොඩ හි#%…………………… (ඉතිරි ටික ඇසුනේ නැත)…… යැයි දීර්ඝ වචන හුවමාරුවක් සිදු විය. ආණ්ඩුව පරාජයට පත්වන තුරුම විශ්‍රාමිකයින්ගේ ප්‍රශ්නය විසඳුනේ නැති නමුත් එයින් රජයට හා දේශපාලනඥයින්ට සිදු වූ හානිය අති මහත්ය.

තත්වයට වඩා හාත්පසින්ම වෙනස් තලයක මහජන නියෝජිතවරියක බව රෝහිණී ඒ කතාව තුලින් පාර්ලිමේන්තුවේ සලකුණු තැබුවාය. ‘වියත්මග පාර්ලිමේන්තුවේ’ ට කෙසේ වෙතත්, මහා සමාජය තුල ඇයට වෙනස්ම මානයකට ඔසවා තැබීමට ඇගේ ප්‍රතිචාරය හේතු විය. එහි ප්‍රතිඑලය ලෙස, අරගලය සමයේ ‘නියෝජ්‍ය කතානායක ධූරයට’ ගෝල්ෆේස් විරෝධතාවය අතරතුර නම් යෝජනාවීමට ද එය හේතු විය.

පාර්ලිමේන්තුවේ අපහාස කරන්නා අපහාසයට ලක්වන බව පසක් කරමින්, රෝහිණී සමඟ මේ කුණුහරුප සංවාදවලට පැටළුණු අගැමති දිනේෂ්, සභානායක සුසිල්, තිස්සකුට්ටි, අජිත් රාජපක්ෂ, ජොන්ස්ටන්, ප්‍රසන්න, අශෝක ප්‍රියන්ත 2024 මැතිවරණයේ දී පරාජයට පත් විය.

මහජන නියෝජිතවරුන් පාර්ලිමේන්තුවට එන්නේ, කුණුහරුප කියන්නට නොව නීති හදන්නටය. නීති හැදීමේ කාර්යය පසෙක තබා පාර්ලිමේන්තුවේ දේශපාලන ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් සිටී. ජනතාවගේ නව දේශපාලන සංස්කෘතියක් පිළිබඳ බලාපොරොත්තුව ‘කුණුහරුපයක්’ නොවන තැනට වැඩ කිරීම මන්ත්‍රීවරුන්ගේ වගකීමකි.

රජිත් කීර්ති තෙන්නකෝන්