සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ලේ සංජීවට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෙඩික්කරු ඇතුළු සැකකරුවන් 08 දෙනාගේ සියලු බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි කොළඹ අපරාධ කොට්ඨාසයට ඊයේ (24 වැනිදා) අවසර දුන්නාය.
මෙම මස 19 වැනිදා පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 05 අධිකරණ ශාලාවේ නඩු විභාග වෙමින් පවතින අතරතුර විත්තිකූඩුවේ සිටි සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සියලු සැකකරුවන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අවශ්‍ය බව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය වෙත දැනුම් දුන්නේය.
ගණේමුල්ලේ සංජීව නමැත්තා ඝාතනය කළ වෙඩික්කරු බව කියන අංක 202/1/ඒ, දඹහේන පාර, මහරගම පදිංචි 27 හැවිරිදි සමිදු දිල්ෂාන් පියුමංග කඳනාරච්චි, ඔහු ගමන් ගත් වෑන් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ අංක 494/ඒ/01/03 ගොඩල්ලහේන, මිල්ලෑව පදිංචි 44 හැවිරිදි කරනන්චාරයේ මහේෂ් සම්පත් ප්‍රියදර්ශන, වෙඩික්කරු සමග පැමිණි කාන්තාව සමග සම්බන්ධතා පැවැත්වූ බව කියන මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් කොස්තාපල් (102216) 26 හැවිරිදි ඇතුගලගේ ළහිරු ප්‍රසන්න ඇතුගල, වෙඩික්කරු රැගෙන ඒම හා අවි ආයුධ දුන් බව කියන කාර් රථයේ රියැදුරු වන අංක 74, තම්මිට, මාකවිට, ගම්පහ පදිංචි 43 හැවිරිදි කුමසරලාගේ දොන් ජනක උදයකුමාර, වෙඩික්කරු පලායෑමට භාවිත කරන ලද වෑන් රථය සන්තකයේ තබාගත් බව කියන අතුරුගිරිය පොලිසියේ කොස්තාපල් (84855) 37 හැවිරිදි සෙන්කොන්ඩආරච්චිගේ හසිත රොෂාන්, අපරාධය සඳහා යොදාගත් ගිනි අවිය වෙඩික්කරු හට ලැබීමට අපරාධයට ආධාර අනුබල දුන් බව කියන මල්වත්ත පාර, අස්ගිරිය, ගම්පහ පදිංචි 22 හැවිරිදි හොරණෑකාරගේ දමිදු ලක්ෂාන්, අපරාධයෙන් පසු වෙඩික්කරු සහ සැකකාරිය ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කර අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එකම පවුලේ සහෝදරයන් වන අස්ගිරි වල්පොල, උඩුගම්පොල පදිංචි 19 හැවිරිදි පුල්ලේපෙරුම ආරච්චිගේ චමෝත් ගිම්හාන සහ 25 හැවිරිදි පුල්ලේපෙරුම ආරච්චිගේ දමිත් අංජන නයනජිත් යන සැකකරුවන් 08 දෙනාගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර දුන්නාය.
මෙම සැකකරුවන්ගේ ගිණුම්වලට ලැබී ඇති මුදල්, ඔවුන් විසින් කරන ලද සියලු ගනුදෙනු ආදී විස්තර ඇතුළත් තොරතුරු ලබාදෙන ලෙස අදාළ බැංකුවල කළමනාකරුවන්ට නියෝග නිකුත් කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. ජී. රත්නායක සමග පෙනී සිටි පොලිස් සැරයන් (51237) එම්. ඒ. එස්. ඩී. බණ්ඩාර ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය, සැකකරුවන්ට අදාළ බැංකු ගිණුම් තොරතුරු කොළඹ අපරාධ කොට්ඨාසයට දෙන ලෙස අදාළ බැංකුවල කළමනාකරුවන්ට නියෝග කළාය.