හිටපු පොලිස් ලොක්කා ගනේමුල්ලේ සංජීව ගැන තැබු ෆේස්බුක් සටහන

කොළඹ මහාධිකරණ සංකීර්ණය තුළ වෙඩි වැදී ඝාතනය වූ ගනේමුල්ලේ සංජීව පිළිබද හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ෆේස් බුක් සටහනක් තබා තිබේ.

ඒ මගින් ඔහු ගනේමුල්ලේ සංජීවගේ අපරාධ ඉතිහාසය සිහිපත් කර ඇති අතර එම සටහන මෙසේය

‘අවි ගත්තෝ …………….”
ප්‍රධාන ඝනයේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන සංජිව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජිව අද දහවල් අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළදී නිතිඥ වෙස්ගත් ඝාතකයකු විසින් වෙඩිතබා ඝාතනය කරනු තිබෙනවා.


මගේ කියවීම අනුව, ඔහු ඉතා දරැණු ඝනයේ අපරාධ කරැවෙක්. මනුෂ්‍ය ඝාතන 16 ක් ප්‍රධාන ඝනයේ ආයුධ සන්නද්ධ කොල්ලකෑම් රාශියක් (කෝටි 7 ක බැංකු කොල්ලයක්ද ඇතුළුව)සහ විශේෂයෙන් කප්පම් ලබාගැනීම් සහ පුද්ගලයන් ත්‍රාසද්ග්‍රහණයට ලක්කිරීම් මෙන්ම ප්‍රධාන පෙළේ මත්ද්‍රවය ජාවාරම්කරැවෙකු ලෙසත් ඔහු ප්‍රසිද්ධියට පත්ව සිටියා.


බොහෝ සංවිධානාත්මන අපරාධකරැවන් තුරැණු වියට එළඹෙත්ම අපරාධ ලෝකයට අත්පොත් තැබීම සිදුකරන නමුත් ගණේමුල්ල සංජීව ඊට වෙනස් මගක් ගත් අපරාධකරුවෙක්.


1978 වසරේ උපන් ඔහු අපරාධ ක්‍රියාකාරකම්වලට එළඹෙන්නේ 2007 දීයී. ඒවන විට වයස අවුරුදු 29 ක් වූ සංජීව විවාහකයෙකු වූ අතර අවුරුදු 5 ක් වයසැති දියණියකගේ පියෙක්.


බොහෝ සංවිධානාත්මක අපරාධකරැවන් සිය අපරාධ ක්‍රියා ආරම්භය සිදුවන්නේ කොළඹ හෝ තදාසන්න ප්‍රදේශයක නමක් දිනු අපරාධ කල්ලියක කනිෂ්ඨ සාමාජිකයකු ලෙසයි. එහෙත් ගණේමුල්ල සංජීව ඉන් වෙනස් වූවෙක්. ඔහු අපරාධ ක්‍රියාන්විතයට එළඹෙන්නේ ගම්පහ සහ ගණේමුල්ල අවට රස්තියාදුකාර තරැණ කන්ඩායමක් ඒකරාශීකරගනිමින් තමාගේම අපරාධ කල්ලියක් නිර්මාණය කරගැනීමෙනි.


පොලිස් වාර්තාවලට අනුව ඔහුගේ කල්ලියේ සමාජිකයන් 15 දෙනාම (2021 වනවිට) ගම්පහ අවට ප්‍රදේශවල පදිංචි තරැණයන්.


ගම්පහ දිස්ත්‍රික්කයේ 2010-2020 අතර කාලය තුළ සීග්‍රයෙන් පැතිර යමින් තිබූ “පස් මාෆියාව” සංජීවගේ අපරාධ ක්‍රියාකාරකම් තීව්‍රරවීමට විශාල පිටුවහලක්. එය මුදල් ඔවුන්ට මුදල් උල්පතක් බවට පත්වුණා.


නීති විරෝධි පස් ජාවාරම හා බැදුනු ප්‍රාදේශීය දේශපාලන චෞර වලල්ල මෙවැනි ප්‍රාදේශීය අපරාධ කල්ලි ක්‍රියාකාරකම් වර්ධනයට ප්‍රබල පිටිවහලක්. “උඩුගමපොළ පස් පොඩ්ඩා” වැනි පුද්ගලයින් සිය නීතිවිරෝධි ජාවාරම් සදහා ගණේමුල්ල සංජිව කල්ලියේ සහාය ලබාගත් අතර ඒ සමග ඔවුනොවුන් අතර අඛණ්ඩව ගැටුම් හටගත්තා.


ගණේමුල්ල සංජීව සම්බන්ධ ඝාතන හා ඝාතන ප්‍රයත්න රැසක් ඇති අතර 2016 වසරේදී “දෙමටගොඩ චමින්ද” ඝාතනය කිරීමට තැත් දැරීම ඉන් ප්‍රධාන එකක්. භාරත ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධව මරණ දඩුවම ලැබ සිටින චමින්ද ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද අධිකරණයේ සිට බන්ධනාගාරය වෙත බන්ධනාගාර බස්රථයකින් රැගෙන යමින් සිටියදීයි වෙඩිතබා ඝාතනය කිරීමට තැත්කිරීම සිදුවූයේ.
ගම්පහ ප්‍රදේශයේ පදිංචි තවත් අපාධකරැවකු ලෙස සැලකෙන ඔස්මන්ඩ් මැඩොන්සා ගුණසේකර ඝාතනයට තැත්කිරීම මෙන්ම “කෙහෙල්බද්දර නෙවිල් “ඝාතනය සිද්ධිය පසුපස සිටි ප්‍රධාන හස්ථය ලෙස සැලකෙන්නේද ගණේමුල්ල සංජීවයි.


සංජිව ඝාතනය සම්බන්ධව මේ වනවිට විවිධ පාර්ශව පිළිබඳ සැකකෙරෙමින් පවතී.
සංජීවගේ තර්ජන හේතුවෙන් මෙරටින් පලාගොස් ඩුබායි හි රැදීසිටිමින් අපරාධ කල්ලියක් මෙහෙයවන මද්දීනු පද්මසිරි පෙරේරා නොහොත් “කෙහෙල්බද්දර පත්මේ” ඉන් ප්‍රධාන කෙනෙක්. පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවකට දුරකථනයෙන් කතාකොට ඇති ඔහු සංජීව ඝාතනය තමා විසින් සිදුකරනු ලැබූ බවට ප්‍රකාශයක්ද සිදුකර තිබෙනවා. පත්මේ යනු ඝාතනයට ලක්වූ නෙවිල්ගේ පුත්‍රයායි.


මේ සියලු කරැණු කාරණා සැලකීමේදී ගම්‍ය වන ප්‍රධාන කරැණ නම් ජාතික ආරක්ෂාව මෙන්ම පුද්ගල ආරක්ෂාවද අයාලයේ යමින් පවතින බවයි. පසුගිය රජයේ පොලිස් ඇමති ටිරාන් අලස් “පාතාලය“ සුන්නද්දූලි කිරීමේ දිනවකවානු පවා ප්‍රකාශ කර සිටි නමුත් අවසානයේ සුන්නද්දූලී බවට පත්වූවේ එතුමාගේ ඇමතිකමය.
වර්තමාන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාද මැතිවරණ වේදිකාවේ පුන පුනා කියාසිටියේ පොහොය දෙකකින් පාතාලය විනාශ කරන බවය. හොඳ වෙලාවට මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ විෂය පිළිබඳ කටේ කෙල බිඳක් හෙලන්නේ නැත.


මෙම අපරාධ ජාතික ආර්ථිකයටද ප්‍රභල බලඵෑමක් එල්ලකරයි. එබැවින් අපරාධ රැල්ල මර්දනය කර නීතියේ ආධිපත්‍ය පමණක් නොව ජාතික ආරක්ෂාව සහතික කිරීම රජයේ ප්‍රමුඛ වගකීමක් විය යුතුමය. අපරාධ සංස්කෘතිය මෙරටින් සදහටම තුරන්කර වඩාත් සුරක්ෂිත රටක් නිර්මාණය කිරීමේ වගකීම වර්තමාන රජය සිය ප්‍රබල අභියෝයක් ලෙස සැලකිල්ලට ගැනීම ඉතා වැදගත්ය.


එම කාර්යයන් ඉටුකිරීම සදහා අවශ්‍ය ව්‍යවස්ථා බලය මහජනතාව විසින් ඕනෑවටත් වඩා වැඩියෙන් වර්තමාන ආණ්ඩුවට ලබාදී තිබේ. ආණ්ඩුව දැන් කලයුත්තේ එඩිතරව වැඩට බැසීමය.


ඒ සදහා අවශ්‍ය දේශපාලන අවංකභාවය සහ උවමනාව වර්තමාන රජය සතු බව අපි හොඳාකාරව දනිමු. එමනිසා රජය මෙකී බලගතු අභියෝගයන් කෙටි කාලයක් ඇතුලත ජයගනු ඇතියි පොදු මහජනතාව ලෙස අපි උපේක්ෂා සහගතව බලාසිටින්නෙමු