ලංකාවේ තෙල් සමාගමක් රටින් යන්න හදයි

ඕස්ට්‍රේලියානු බලශක්ති සමාගමක් වන යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම මෙරට තුළ ස්ථාපිත කර වසරක් ගත වීමටත් පෙර ශ්‍රී ලංකාවෙන් ඉවත් වීමට සූදානම් වන බවට වාර්තා වේ.

ඒ අනුව එම සමාගමේ සේවක පිරිස ඉවත් කිරීමේ ක්‍රියාවලියද මේ වන විට ආරම්භ කර තිබෙන බව පැවසේ.

මෙම තීරණය ගෙන ඇත්තේ විවිධ අභියෝගයන්ට මුහුණ දීමෙන් අනතුරුව බව සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නයිජර් සිමන්ස් විසින් සේවකයින් වෙත යොමු කරන ලද ලිපියක සඳහන් වේ.

සමාගමේ පාලනයෙන් බැහැර වූ අනපේක්ෂිත තත්වය හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුව ඇති බවත් සේවක කොන්ත්‍රාත් අවසන් කිරීමට නියමිත බවත් අදාළ ලිපියේ සඳහන් වේ.

ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් තනතුරු කිහිපයක් අනවශ්‍ය වී ඇති බවත් මෙය ඉතා දුෂ්කර තීරණයක් වන අතර, ව්‍යාපාරයට ලබා දුන් කැපවීම සහ දායකත්වය අගය කරන බවද එහි දැක්වේ.

එමෙන්ම එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නයිජර් සිමන්ස් සේවකයින්ගෙන් ඉල්ලා සිටින්නේ තම අවසන් සේවා දිනයේදී සියලු සමාගම් දේපළ ආපසු භාර දෙන ලෙසය. මෙම හදිසි සේවක ඉවත් කිරීම් හේතුවෙන් සේවකයින් අතර කලබලකාරී තත්ත්වයක් ඇති වී තිබේ. සමහර සේවකයින් මෙම හදිසි හා අසාධාරණ ලෙස සේවයෙන් පහ කිරීම්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර් ගැනීමට සූදානම් වන බවද වාර්තා වේ.

ඔවුන් දැනටමත් නීති උපදේශකයින් හමු වී සාකච්ඡා ආරම්භ කර ඇති අතර, සමාගම විසින් ගිවිසුම්ගත බැඳීම් සහ ශ්‍රී ලංකා කම්කරු නීති උල්ලංඝනය කර ඇති බවට ඔව්හු චෝදනා කරති.

කෙසේ වෙතත් තවමත් බලශක්ති අමාත්‍යවරයා සහ යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා සමාගමේ ඉහළ කළමනාකාරීත්වය මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද වාර්තා වේ.

මෙම සමාගම මෙරට ඉන්ධන පිරවුම්හල් 66කට ආසන්න ප්‍රමාණයක සිය ඉන්ධන අළෙවි කටයුතු සිදුකර සේවකයන් 100කට අසන්න සංඛ්‍යාවක් එම පිරවුම්හල්වල සේවය කළ බව ඛනිජ තෙල් බෙදුම්කරුවෝ පැවසූහ.