රාජ්‍යයේ න්‍යාය පත්‍රය තේරුම් ගැනීම ජනතාවගේ ද, විපක්ෂයේ ද, සිවිල් සමාජයේ ද, ගැලවීමේ මාර්ගයයි. අවම වශයෙන්, ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ටවත් ‘අනුරවාදයේ’ ඉදිරි සති 9 ගැන පැහැදිලි අවබෝධයක් ඇති බවක් නොපෙනේ. 2025 ජනවාරි 21 – අප්‍රේල් 5 දක්වා ආණ්ඩුවේ න්‍යාය පත්‍රය තේරුම් ගැනීම සෑම සියළු දෙනාට වැදගත්ය.
ඉදිරි දින 75 ට ආණ්ඩුවේ න්‍යාය පත්‍රයේ අංග 6 කි.
1. ‘ක්ලින් ශ්‍රී ලංකා’ මන්ත්‍රීවරුන්ට අවබෝධ කර දී, ඔවුන් හරහා රටට සන්නිවේදනය කරවීම
2. පලාත් පාලන පනත සම්මත කරගෙන නාමයෝජනා කැඳවීම,
3. අවම ජනතා/විපක්ෂයේ අවධානයක් සහිතව අය වැය සම්මත කර ගැනීම (පොරොන්දු අමතක කරවීම),
4. පාර්ලිමේන්තුවේ දී දිනපතා විපක්ෂයට වලක් බැගින් කැපීම,
5. විපක්ෂය වෙන්ව තරඟ කරන පලාත් ඡන්දයකින් ජය ගැනීම,
6. අලුත් අවුරුද්දට කැකුළු හාලෙන් කිරිබත් කෑම – ආණ්ඩුවේ ඊලඟ දින 75 යි.
ආණ්ඩුවේ යෝජනාවක් ලෙස 2025 ජනවාරි 21 සහ 22 ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ගැන පාර්ලිමේන්තු විවාදය පැවැත්වේ. මෙය විපක්ෂයේ හෝ ජනතාවගේ හෝ සිවිල් ක්‍රියාකාරීන්ගේ හෝ ගොවි, කම්කරු ජනතාවගේ ඉල්ලීමක් නොව, ‘ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ක්ලින් ශ්‍රී ලංකා උගන්වන’ පාර්ලිමේන්තු සභා ගර්භයේ දී පැවැත්වෙන වැඩමුළුවකි. එය සාර්ථක වන්නේ නම්, ‘ක්ලීන් ශ්‍රී ලංකාව ගැන මන්ත්‍රීවරුන්, ආණ්ඩුකරණයේ නිරත පිරිස් හා නිලධාරීන් තැන තැන කියන බහුබූත කතා’ නිවැරදි කර ගත හැකි වනු ඇත.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ නිසි ඇඟයීමේ ක්‍රමවේදයක් රහිත හුදු නිස්සාර වචන ගොඩක් පමණක් බවට වන හැඟීමක් පළාත් සභා හා දිස්ත්‍රික් වැඩමුළු මාලාව අවසන් වන විට එයට සම්බන්ධ වූ රාජ්‍ය සේවකයින්ට දැනී ඇත. ක්ලීන් වැඩසටහන වාහන හිමියන්ට හා පොලීසියට කෑලි ගලවන වැඩකි. බැකෝ හා ටිපර් හිමියන්ට එය පාර සුද්ද කරන වැඩකි. රාජ්‍ය නිලධාරීන්ට ටයි දමාගෙන ‘පාර සුද්ධ කරන වැඩකි’. මන්ත්‍රීවරුන්ට වෙරළක්, කන්දක්, ජනප්‍රිය වීදියක දී වොයිස්කට් දී පින්තුර ගැනීමකි. මෙය වෙනස් කර ගත යුතුය.
‘දැකුම්කළු දිවයිනක්, සොම්නසින් පිරි ජනතාවක්’ යැයි ක්ලීන් වැඩසටහනට කීව ද, එහි ‘දැක්ම (Vision)’ නිවැරදිව කියාගන්නට ආණ්ඩුවට තවමත් බැරිවී ඇත.
දෙවනුව, දැනට එමගින් කරන කටයුතු, එනම් ‘මෙහෙවර (Mission)’ හඳුනාගැනීමට රාජ්‍යයට ද, ආණ්ඩුවට ද, ආණ්ඩුව කරවන අයට ද හැකිවී නැත.
තෙවනුව, මේ ව්‍යාපෘතිය ‘කොහොම කොයි මට්ටමකින්ද කරන්නෙ ද යන්න එනම්, අගයන් හඳුනාගන්න (values) නිරවුල්ව පැවසීමට කිසිවෙකුත් නැත.
සිව්වනුව, ආණ්ඩුවට ‘රටට තියෙන ශක්තීන්, දුර්වලතා, අවස්ථා හා තර්ජන හඳුනාගන්නට’ (SWOT analyses) කර ගන්නට බැරිවී ඇත.
පස්වනුව, ජනවාරි 1 ජනාධිපතිතුමාගේ කතාවෙන් පසුව, ක්ලීන් ශ්‍රී ලංකා මුහුණ දුන් ලොකුම අර්බුදය ‘එහි දේශපාලන, ආර්ථික, සමාජීය, තාක්ෂණික, පාරිසරික හා නෛතික විශ්ලේෂණයෙන් (PESTEL analyses) අසමත්වීමය.
හයවනුව, ‘දැකුම්කළු දිවයිනක් හදන්නට දැන් නායකත්වය දෙන්නේ රාජ්‍ය සේවකයින් ය. දැන් වැඩමුළු අවසන් කර ඇති පළාත් හා දිස්ත්‍රික් රාජ්‍ය සේවයේ ඉහළම නිලධාරීන්ගෙන් ‘ඔබලා පලාතේ/දිස්ත්‍රික්කයේ ‘සංවර්ධනය කරන්න ඔ්න කරන උපාය මාර්ග දිශානති’ (Strategic Directions) මොනවාදැයි පරිපාලන, සැලසුම්, ඉංජිනේරු, කලමනාකරණ, විද්‍යාඥයින්ගෙන් අසන්න. අර්බුදය ඔබට මොහොතින් වැටහෙනු ඇත.
හත්වනුව, ගමක, නගරයක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක, ව්‍යවස්ථාපිත මණ්ඩලයක, සංස්ථාවක හෝ දෙපාර්තමේන්තුවක, ‘මේ වැඩසටහනේ පාර්ශවකරුවන් (Stake holders) කවුරුන් ද, යන්න හදුණාගෙන ඒ අතරින් වඩාත් බලපැම් සහගතහවුල්කරුවන්ගේ ප්‍රමුඛතා ලේඛනයක් සකස් කර නැත.
අටවනුව, තවමත් කිසිම ප්‍රා.ලේ.කොට්ඨාශයක, අමාත්‍යාංශයක, දිස්ත්‍රික්කයක, පාර්ශවකරුවන්ගේ රැස්වීමක් තබා ‘ඔවුන්ට රජයේ උපාය මාර්ගික දිශානති පෙන්වා, එයට ඔවුන්ගේ අපේක්ෂා හා යෝජනා’ ඉල්ලා නැත. නාමික ‘දිස්ත්‍රික් හා ග්‍රාමීය සභා’ පිහිටුවීම තුලින් පාර්ශවරුවන් දායක කර ගැනීම හෝ උපාය මාර්ගික දිශානති තෝර ගැනීමක් සිදු වන්නේ නැත.
නමවනුව, එවැනි පරිසරයක, මේ ආණ්ඩුව බිහිකර ගැනීමට ඡන්දය දුන් බහුතරයක් ජනතාවගේ යෝජනා – ප්‍රමුඛතා ලැයිස්තුගත කර, ඒවාට අදාල ක්‍රියාකාරකම් (activities) හදන්නට ත්, රජයට, පළාතකට හෝ දිස්ත්‍රික්කයකට ඇති භෞතික සහ මානව සම්පත් ඒ ක්‍රියාකාරකම් සඳහා ගලපා ගැනීමටත් අවස්ථාවක් නැත.
දසවනුව, ආණ්ඩුව ‘ක්ලීන් ශ්‍රී ලංකා යටතේ ජනතාවට, ඡන්දදායකයාට ලබා දිය හැක්කේ කුමක්දැයි දන්නේ නැත. මැතිවරණ පොරොන්දු ඉටුවන්නේ කෙසේ දැයි පෙනෙන්නේ නැත. ජනතාව තමන්ට ලැබෙන්නේ මොනවාදැයි කියා දන්නේ ද නැත.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ගැන ආණ්ඩුවත් – විපක්ෂයත් විවාද කරන්නට යන්නේ ‘අතීතය හා පරණ දේශපාපාලනය’ ගැන ය. එයට දැනට පෙනෙන ලෙස නම් ‘අනාගතවාදී (futuraistic) දැක්මක් හෝ ක්‍රියාකාරකම් හෝ නැත. ඌව ට කියූ දෙයට වෙනස් දෙයක් වයඹ ට කියූ වැඩසටහනක් ගැනය. එක දිස්ත්‍රික්කයක උදේ කියූ දෙයට වෙනස් දෙයක් හවස තවත් දිස්ත්‍රික්කයකට කියූ පිරිසක් සමඟය.
ලංකාවේ අපිරිසිදු කවුද?
‘ක්ලීන්’ වචනයම එන්නේ ‘පිරිසිදු කිරීම’ එනම් අපිරිසිදු යැයි ලේබල් කරන පරිසරයකිනි. ‘ක්ලීන් කියන්නේ ම ෆැසිස්ට් අදහසකි. Clencing හෙවත් ශුද්ධ කිරීම එහි මූලය යි. ජර්මනියේ නාසිවරු, හින්දු මුලධර්මවාදීන් (RSS), ගෝඨාභය ගේ ශුද්ධ සිංහල (ආර්ය සිංහල) ආදී වශයෙන් යුග යුග ඉතිහාසය පුරා දේශපාලනිකව මෙලෙස ‘කුණු’ ශුද්ධ කර ඇත. සිංගප්පුරුව 1968 ද, ඉන්දියාව 2014 ද, ඇමරිකාව ‘Amarica Beautiful” යටතේ ද කාලයෙන් කාලයට මෙවැනි ශුද්ධයන් කර ඇත. උදාහරණයකට ඉන්දියාව ශුද්ධ කළේ ‘පාරේ මලපහ කිරීම (වැසිකිලි මිලියන 1.6 ක් සෑදීම) හා කාන්තාවන්ගේ මාස ශුද්ධිය’ (සනීපාරක්ෂක තුවා) ප්රශ්නයයි. දැනට ඇත්තේ තමන් ශුද්ධ කරන්නේ කුමක්දැයි නිශ්චිත අදහසක් නැතිව ‘ශුද්ධ කරන්නට යන’ වැඩටසහනකි.
මාගේ අත්දැකීම නම්, නියමිත පරිපාලන ව්‍යුහයක් (කාර්යාලයක්, නිලධාරීන්), වැය කිරීමට මුදල් (වෝට් එකක්) නැතිව රාජ්‍ය සේවයේ කළ හැක්කක් නැත. ඉන්දියාව පිරිසිදු කළේ නිශ්චිත වගකීම් පැවරුණු නිලධාරීන් 77 කි. ඔවුන්ට වගකීම (Responsibility), හිමිකම (Ownership), වගවීම (Accountability) හා විනය (Discipline) තිබුණි. මේ මූලිකාංග නැති කුමන හෝ ව්‍යාපෘතියක් ‘නිලධාරිවාදයේ’ විෂම චක්‍රයට හසුවන්නේමය. දැනටම ‘ක්ලීන් ශ්‍රී ලංකා’ රාජ්‍ය සේවයේ ඉහළම තැන්වලින් ‘මඟහැරීම’ සහ ‘වෙනෙකෙකුට යොමු කිරීම’ (Avoid and Bypass) ට ලක්ව ඇත. එහි ප්‍රතිඑලය ‘ව්යාකුලනය හා ප්‍රමාදය’ (Confuse and Delay) ය. දැනටම ව්‍යාපෘතිය ව්‍යාකුල වී ඇත!
අනුරවාදය හා ආකර්ශනීය නායකත්වය
මා දන්න කාලයේ සිට අනුර කුමාර දිසානායක, පාර්ලිමේන්තුවේ දී ජවිපෙ ප්‍රතිපත්ති, හෝ කරුණු කාරනා තමාට ලැබෙන විනාඩි කිහිපයේ දී කදිමටම පැහැදිලි කළේය. අද ත් එසේමය. ජනාධිපතිතුමා හැර වෙනත් කිසිවෙකුට ‘ක්ලීන් ශ්‍රී ලංකා’ තබා වෙනත් කුමන හෝ මාතෘකාවක් සරළ හා නිරවුල්ල පැහැදිලි කර දිය හැකිවී නැත. ඒ නිසාම මෙය උඩ සිට පහලට’ යන ව්‍යාපෘතියක් මිස ‘පහළ සිට ඉහළට’ යන්නේ නැත. ජනාධිපතිතුමාගේ ආකර්ශීනීය පෞර්ශය නොවේ නම්, ව්‍යාපෘතියක් නැත. ආණ්ඩුව හදන්නට ඡන්දය දුන් ‘පොඩි මිනිහා’ අපිරිසිදු, නරක, කරදරකාරීයෙකු ලෙස සලකා බස්, ත්‍රීරෝද, කාර්යාල, මහපාර, වීදි වෙළදාමට බාධා කිරීම ඔවුනට වේදනාවකි.

අය වැය දිගු වෙයි
මේ දැන් පලාත් පාලන ඡන්ද විමසීමේ (සංශෝධන) පනතට එරෙහිව අධිකරණයට විරෝධතා දක්වන කාලයයි. නඩු විභාගය දින 14 කින්, එනම් පෙබරවාරි 6 -8 වන විට අවසන් වේ. නාම යෝජනා සඳහා දින 17 ½ කි. අවශ්‍ය නම් අප්‍රේල් 5-7 ඡන්දය පැවැත්විය හැකිය. (මැතිවරණ නිලධාරීන්ට අවශ්‍ය එය අලුත් අවුරුද්දෙන් පසුව පැවැත්වීමය) අය – වැය සහ පළාත් පාලන ඡන්ද ප්රචාරක සමය එක මත එක වැටේ.
අයවැය විවාදයේ පාර්ලිමේන්තු කාලයෙන් 60% ක් විපක්ෂයට ය. 40%ක් ආණ්ඩුවටය. න්‍යාය පත්‍රය හදන්නේ ද විපක්ෂයයි. කාරක සභා අවස්ථාව දින 20 කි. අමාත්‍යාංශ 25 ක අය වැය දින 20ක් විවාද කරන්නේ මොනවාදැයි විවාදයේ හිමිකරුවන්වන ‘විපක්ෂයවත් දන්නවාදැයි’ මට නම් සැකයකි. වැදගත්ම දේ, අය වැයට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 158 න් 40 ක් සභාවේ සිටීම ප්රමාණවත්ය. විපක්ෂයේ 60 න් 40 ත් පාර්ලිමේන්තුවේ නැවැත්වූ විට ඡන්ද ප්රචාරක ව්‍යාපාරයට දෙවි පිහිටය.
අනෙක් අතට එජාප – සජබ අතර එකඟතාවයක් නොවේ නම්, දක්ෂිණ බලවේගයට එය අතිශයින් අමිහිරි අත්දැකීමක් වනු ඇත. අනුරවාදය තවමත් ඇත්තේ ආකර්ශනීය තැනකය. අනෙක් අතට, මැතිවරණ සමයේ දී විපක්ෂයේ ක්‍රියාකාරීන්, විපක්ෂ කාර්යාලය ඉලක්ක කර ‘මඩ ප්‍රහාරයක්, ප්රලාපයක්’ එළිදැක්වෙනු ඇත. ගෝල්ෆේස් වාහන සංදර්ශනය, ජනපති අරමුදල් දේශපාලනඥයින්ගේ ලැයිස්තුව, දේශපාලනඥයිගේ ට්‍රැෆික් නඩු වැනි, තවත් ලැයිස්තු කිහිපයක් එළියට දමනු ඇත. බොහෝ විට විපක්ෂයේ ප්රමුඛ චරිත කිහිපයක් අත්අඩංගුවට පත් වනු ඇත!
ක්ලීන් ලංකා, අය වැය හා පලාත් පාලන ඡන්දය විපක්ෂයට ඇටවූ මර උගුල් තුනකි. එම උගුලේ නොවැටෙන්නට නම්, සජබ – එජාප පාක්ෂිකයින් අවම වශයෙන් එකම ලැයිස්තුවකින් පළාත් පාලනයට තරඟ කළ යුතුය. අය වැය පැත්තක තබා උපක්රමශීලි ඡන්ද ව්‍යාපාරයක් කළ යුතුය. පාර්ලිමේන්තු කතා සාප්පුවෙන් ගැලවී ඡන්ද ව්‍යාපාරයක මුලිකාංග වෙත යොමු විය යුතුය. නායකයින් එයට අකමැති නම්, ග්‍රාමීය/නාගරික අපේක්ෂකයින් ස්වාධීනව හෝ එකම ලැයිස්තුවකින් පැමිණිය යුතුය.
එසේ නොවේ නම් විපක්ෂය පළාත් පාලන ඡන්දය, අය වැය, ආණ්ඩුවේ ක්ලීන් ප්රචාරක ව්‍යාපෘතිය යන පන්දු තුනටම ගොදුරුව, ආණ්ඩුවට කඩුළු ත්‍රිත්වයක් එනම් ‘හැට් ට්‍රීට්’ ලබා දෙනු ඇත.
දැනටමත් ගොයම් නෙලීම ආරම්භ වී ඇති හෙයින්, නැතිනම් අලුත් අවුරුද්දට කැකුළු හාල් කිරිබත් කෑම තවදුරටත් ප්‍රශ්නයක් වන්නේ නැත.
රජිත් කීර්ති තෙන්නකෝන්