දියගමට පණ දෙන්න ඇමැති සූදානමින් – ජාත්‍යන්තර ආයෝජකයින්ටත් අවස්ථාව

දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණය දියුණු කිරීම සදහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර සදහන් කරයි.

ක්‍රීඩා අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරු දෙදෙනා අද දිනයේදී දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය නිරීක්ෂණය කිරීම සදහා ගිය අතර එහිදී මෙම ක්‍රීඩා සංකීර්ණය දියුණු කිරීම සදහා අවශ්‍ය පියවර ගන්නා බවට සහතික විය.

ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයක් ලෙස මෙය දියුණු කිරීමට නියමිත අතර ඒ සදහා පුද්ගලික අංශයේ සහාය ලබාගනිමින්, රාජ්‍ය – පුද්ගලික හවුල්කාරීත්වයක් ලෙස මෙය දියුණු කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සදහන් කළේය. ඒ සදහා සාකච්ඡා කරමින් යන බවද අමාත්‍යවරයා සදහන් කළේය.

මිැර 400 ධාවන පථ දෙකක් ඇති නමුත් එයින් එක් ධාවන පථයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න පැවසුවේය.

“මේ ධාවන පථය මෙහෙම අතහැර දාලා තියෙන්නේ ඇයි කියලා දන්නේ නෑ. ජාතික සම්පත් මේවා. ඉදිරියේදී මේක ක්‍රීඩා සංකීර්ණයක් බවට පත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එතකොට ලංකාවේ තියෙන සියලුම ක්‍රීඩා මෙතැනට අරගෙන එන්න පුලුවන්. ඔවුන්ගේ ජාතික සංචිත පවත්වාගෙන යන්න පුලුවන් අවස්ථාව ලබාදෙනවා” සුගත් තිලකරත්න කීවේය.