අසාධ්‍ය තත්ත්වයේ පසුවන වැලිකන්ද රෝහල

පොළොන්නරුව, වැලිකන්ද මූලික රෝහලට ප්‍රමාණවත් පරිදි පහසුකම් සහ අවශ්‍ය වෛද්‍යවරුන්, කාර්ය මණ්ඩලයක් නොමැති වීම නිසා ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් විසි නවයක පවුල් දහතුන් දහස් හයසීයක පමණ දෙනා දැඩි අසිරුතාවට පත්ව සිටිති.

පළාත් සෞඛ්‍ය සේවා අමාත්‍යාංශයට අයත් වැලිකන්ද මූලික රෝහල 2012 වර්ෂයේදී මූලික රෝහලක් බවට පත්වුණ ද ඒ සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලයක්, ප්‍රමාණවත් පහසුකම් නොමැති වීම හේතුවෙන් මෙම රෝහලට පැමිණෙන රෝගීන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටිති.

පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද නගරයේ පිහිටා තිබෙන වැලිකන්ද මූලික රෝහලට රැගෙන එන රෝගීන්ට ප්‍රමාණවත් පහසුකම් නොමැතිවීමෙන් ඇතැම් අවස්ථාවලදී එම රෝගීන් විශාල මුදලක් සහ කාලයක් වැය කරමින් මඩකලපුව මූලික රෝහලට හෝ පොළොන්නරුව මහ රෝහලට රැගෙන යෑමට සිදුව තිබෙන බවද ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙති.

කිසිදු විශේෂඥ වෛද්‍යවරයකු නොමැති වැලිකන්ද මූලික රෝහලට ‍වෛද්‍යවරුන් විසි දෙදෙනකු අවශ්‍ය වුවද මේ වනවිට සේවය කරනු ලබන්නේ වෛද්‍යවරුන් හත්දෙනකු පමණි.

මීට අමතරව හෙද නිලධාරීන් තිස්පහක් අවශ්‍ය වුවද සේවය කරන්නේ හෙද නිලධාරීන් දහයකින් යුතු කණ්ඩායමකි.

වැලිකන්ද මූලික රෝහල සඳහා කනිෂ්ඨ කාර්ය සේවකයන් හතළිස් තුනක් අවශ්‍ය වුවද මේ වන විට එහි රාජකාරී කටයුතු කරන්නේ විසිහයක් පමණක් බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.

දෛනිකව බාහිර ප්‍රතිකාර අංශයෙන් තුන්සිය පනහක් පමණ ප්‍රතිකාර වන වැලිකන්ද මූලික රෝහලේ දැනට සේවය කරන වෛද්‍යවරුන්ට සහ රෝහල් කාර්ය මණ්ඩලයට ප්‍රමාණවත් පරිදි නිල නිවාස සහ අනෙකුත් පහසුකම් නොමැතිවීමද ප්‍රධාන ගැටලුවකි.

වර්ෂා කාලවලදී රෝහලේ මෙන්ම නිල නිවාසවල වැසිකිළි පද්ධතිය උතුරා ගලන අතර මේ හේතුවෙන් කාර්ය මණ්ඩලයත්, රෝගීනුත් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.

විශේෂඥ වෛද්‍යවරුන්ටත්, වෛද්‍යවරුන්ට, මෙන්ම කාර්යමණ්ඩලයට ප්‍රමාණවත් නිල නිවාස නොමති අතර තිබෙන නිල නිවාස ද ගරා වැටීම තිබීමත්, ගැටලුවක් වන අතර වැහි කාලවලට මෙම රෝහල මඩ වගුරක් බවට පත්වන අවස්ථා ද බොහෝය.

මෙම රෝහලේ පවතින අඩුපාඩුකම්මේ සම්බන්ධයෙන් සහ අවශ්‍ය යටිතල පහසුකම් ලබා නොදීම සම්බන්ධයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්ගෙන් කළ විමසීමකදී සඳහන් කළේ වත්මන් රජය යටතේ වැලිකන්ද රෝහලට අවශ්‍ය සියලු පහසුකම් සහ අවශ්‍ය කාර්ය මණ්ඩලය ලබා දීමට සාකච්ඡා මට්ටමේ පවතින බවත් රෝහලේ අඩුපාඩුකම් ලබා දීමට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන බවත්ය.