විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදයට තවමත් ස්ථිර විසඳුමක් නොලැබීම හේතුවෙන් මැද පෙරදිග රැකියා අවස්ථා අහිමි වීමේ බරපතළ අවදානමක් මතුව ඇති බව වයඹ විදේශ රැකියා නියෝජිතයන්ගේ සංගමයේ සභාපති මොහොමඩ් රිෆාල් පැවසීය.
මෙම ගැටලුව හේතුවෙන් මේ වන විටත් මැද පෙරදිග රටවල් බොහෝමයක් තමන්ට අවශ්‍ය විදෙස් ශ්‍රමිකයන් සොයා ගැනීම සඳහා ලංකාව අතහැර නේපාලය,පකිස්තානය,කෙන්යාව සහ බංග්ලාදේශය යන රටවල් වෙත යොමුවී ඇති බවත් දැනටමත් ඔවුන් නේපාලයේ තෝරාගත් ශ්‍රමිකයන් හට පුහුණුවක් ලබා දෙමින් සිටින බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
මෙවැනි අභියෝගාත්මක වාතාවරණයක් ඇතිවීම තුළින් මේ වසර සඳහා විදෙස්ගත රැකියා ක්ෂේත්රයෙන් ඉලක්ක කර තිබූ ඩොලර් බිලියන 10 ක් ළඟාකර ගැනීම අපහසු විය හැකි බවද ඔහු අවධාරණය කළේය.
හෙතෙම වැඩිදුරටත් මෙසේද පැවසීය.
පසුගිය 2023 වසරෙදි විතරක් 3011000ක් වශයෙනුත් 2024වසරේදී 3020000 ක් වශයෙනුත් රැකියා සඳහා මේ රටෙන් ශ්‍රමිකයන් විදෙස්ගතවෙලා තියෙනවා. නමුත් මාස 8 ක් පුරාම විදෙස් ගමන් බලපත්‍ර ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් නොලැබීම හේතුවෙන් විදෙස් රැකියා ආයතන හිමිකරුවන් විදිහට අපි බරපතළ ප්‍රශ්නයකට මුහුණ පා සිටිනවා. මේ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා,නියෝජ්‍ය අමාත්‍යවරයා සහ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටියත් ඔවුන්ගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබිලා නැහැ. කියන්න කනගාටුයි කාර්යාංශයේ සභාපතිවරයා අපේ දුරකතන ඇමතුමකටවත් සම්බන්ධ වෙන්නේ නැහැ. නිලධාරීන්ගෙන් ඇහුවාම ඔවුන් කියන්නේ අනේ අපිනම් ඒ ගැන මොනවත් දන්නේ නැහැ කියලයි. විදේශ රැකියාවල නිරත වෙලා ආපහු ආව විශාල පිරිසක් තමන්ගේ ගමන් බලපත්‍රයේ කාලය ඉක්මවීම නිසා ආපසු රැකියා සඳහා යාමට නොහැකිව රැඳී සිටිනවා. ඔවුන්ට අවශ්‍ය වීසා තිබුණත් දැන් යාමට නොහැකිව සිටිනවා. අපේ දැන්වීම් සඳහා කතා කරන බහුතරයක් ජනතාව කියන්නේ ඔවුන්ට ගමන් බලපත්‍ර නැහැ කියලයි. මොකද අද දිනයේ ඔන්ලයින් ක්‍රමයෙන් ගමන් බලපත්‍රයක් ගන්න ඉල්ලුවාම ඒ සඳහා ලැබුණු දිනය තමයි ලබන මැයි මස 29 වන දිනය. එතකොට ලැබී තියෙන ගෘහ පාලිකා රැකියා සඳහා තව මාස 5 ක් ගතවන තුරු මේ රටෙන් යන්න ලැබෙන්නේ නැහැ. මේ තත්ත්වය අනුව මැද පෙරදිග රටවල් තව මාස දෙකකින් පටන් ගන්නවා මුස්ලිම් ජනතාවගේ රාමසාන් උපවාස කාලය. මේ සඳහා එම රටවල් අපිට නොවැම්බර් මාසයේ ඉඳලා කෝටාවක් ලබා දෙන්නේ පෙබරවාරි මාසය දක්වා පමණයි. මේ කාලය තුළ ඔවුන් ලබාදෙන කෝටාව අපිට සම්පූර්ණ කරන්න බැරි වුණාම අපිට රැකියා ලබාදෙන විදේශ නියෝජිතයන් පවසන්නේ මේ කෝටාව ශ්‍රී ලංකාවට අහිමි කිරීමේ අවදානමක් දැන් පවතිනවා කියලා මේ නිසා අපි ජනාධිපතිතුමාගෙන් සහ ඇමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ පාස්පෝට් ප්රශ්නය ඉක්මනින් විසඳලා දීලා රටට ලැබෙන්න යන රැකියා සහ ඩොලර් ප්‍රමාණය ආරක්ෂා කරලා දෙන්න කියලා.